මොනරාගල රෝහල් සිද්ධිය අවදානමක් නොදැන සිටියේද?


ඉතා අනුවේදනීය මෙන්ම භයංකාර පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එම පුවතෙන් කියැවුණේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කෙරෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලකට කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා රැගෙන යමින් තිබූ යන්ත්‍රයක බටයක් ඉකුත් 30 වැනිදා උදේ පුපුරා යාමෙන් උද්ගත වූ සිද්ධියකි. කොන්ක්‍රීට් මිශ්‍රණ, රෝහලේ 15 වැනි වාට්ටුවේ වහලය මත වැටී සිවිලිම කඩාගෙන වාට්ටුවට වැටීමෙන් මවුවරුන් තිදෙනකු, සිඟිත්තන් පස් දෙනකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක තුවාල ලබා ඇතැයි පොලිසිය වාර්තා කරන බවය.

මෙම වාට්ටුවේ සිටින්නේ දරු ප්‍රසූතියෙන් පසු දරුවන් සමග සිටින මවුවරුන් සහ දරුවන් බව රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එකවරම වාට්ටුවේ සිවිලිම කඩාගෙන කොන්ක්‍රීට් මිශ්‍රණ වාට්ටුවේ සිටි දරුවන්ගේ හා මවුවරුන්ගේ ඇඟට පතිත වී තිබේ.

එය අනතුරකි. අනතුරු සිදුවන්නේ කලින් දැනුම් දී නොවේ. කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා රැගෙන යමින් තිබූ යන්ත්‍රයක බටයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවී තිබේ. හදිසි අනතුරක් හෙයින් ඒ සම්බන්ධයෙන් කම්පා වීම හැර අන් කුමක් කළ හැකිද? යන ප්‍රශ්නය මෙහිදී පැන නගී.

එහෙත් අවධාරණය කළ යුතු කාරණයක් තිබේ. රෝහලක තිබිය යුතු ප්‍රධානම දෙය සෞඛ්‍ය පහසුකම්ය. දෙවැනුව පවිත්‍රතාවය. තෙවැනුව ආරක්ෂාවය. ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සැකයක් රෝහලක් තුළ තිබිය නොහැක. එහෙත් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබී ඇති බව පෙනේ.

රෝහලක ඉදිකිරීම් කටයුතු කරන විට ‘ජන ශුන්‍ය’ කිරීමෙන් පසු එම ඉදිකිරීම් කටයුතු කළ නොහැකිය. එසේනම් එම ඉදිකිරීම් කටයුතු කළ යුතු වන්නේ ඉතා සුපරීක්ෂාකාරීවය. ඉදිකිරීම් කරන්නන් අතින් කිසිදු අත්වැරැද්දක් විය නොහැකිය. මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් කරන්නන් තුළ ‘ආරක්ෂාව’ සම්බන්ධයෙන් තිබිය යුතු අවධානය තිබී නැත. ‘මෙහෙම දේවල් ද සිදුවිය හැකිය’ යනුවෙන් අනතුරක් සිදුවිය හැකි සෑම අංශයක් දෙසම බලා සුපරීක්ෂාවෙන් එම කටයුතු කළ යුතුය.

අප රටේ රජයේ ගොඩනැගිලි සම්බන්ධයෙන් දක්නට ලැබෙන ප්‍රධානම දුර්වලතාවක් නම් ඒවා නිසි පරිදි නඩත්තු නොකිරීමය. අවශ්‍ය කාලයන්හි දී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරීමය. රෝහල් ගොඩනැගිලි සංකීර්ණ මෙන්ම පාසල් ගොඩනැගිලි ඒ අතින් ප්‍රධානය. රෝගීන් ප්‍රතිකාර ලබන්නේත් දරුවන් අධ්‍යාපනය ලබන්නේත් හිසට ඉහළින් ලබාදෙන මරණයේ අනතුර සමගින්ය.

රෝගියකුට තම සුවපත් බව සඳහා මානසික නිරෝගී බව ඉතා වැදගත්ය. රෝහලේ වහළ කොයි මොහොතේ තම හිස මතට කඩා වැටේදෝයි යන මර බියෙන් හා රෝහලේ වාට්ටුව ද බිත්ති තම සිරුර මතට කඩා වැටේදෝයි යන භීතියෙන් රෝගීන්ට කල්ගත කිරීමට සිදුවන්නේ නම් එය ඛේදවාචකයකි. දරුවන්ට ඉගෙනීමට සිදුවන්නේ එබඳු බිය සැක වැපුරූ පරිසරයක නම් එම දරුවන්ගේ මානසිකත්වයට අත්වන ඉරණම පිළිබඳව අවධානය යොමු විය යුතුය.

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අනතුර හඳුනාගත යුතු වන්නේ පෙර කී ආකාරයට සෑම අංශයක් දෙසට අවධානය යොමු කරමිනි. අප සමාජය වූ කලී සංහාරයෙන් පසුව සංරක්ෂණය ගැන කට මැත දෙඩවීම ජාතික සිරිතක්ව වර නගන සමාජයකි. අනතුර කලින් දැකීමේ හැකියාව නැත. එම හැකියාව තිබුණ ද කළ යුතු කටයුතු සංවිධානය කිරීමක් නැත. අප රටට ඛේදවාචකවලින් අඩුවක් නැත්තේ එහෙයිනි. මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අනතුර එයට හිමි බරින් හඳුනාගත යුතු වන්නේ එහෙයිනි.

(***)