රටකට බදු නැතිව දුවන්න බෑ: ඒත් ජනතාව ගැනත් හිතන්න


සිදුවන බවට අනාවැකි පළවෙමින් තිබූ බදු වැඩිවීම පසුගියදා ප්‍රකාශයට පත් විය. රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා සියයට 8ක්ව තිබූ වැට් බද්ද සියයට 12 දක්වාත් විදුලි සංදේශ බද්ද සියයට 11.25 සිට 15 දක්වාත් ඒ අනුව වැඩි කෙරිණි. මේ හැර තවත් බදු සංශෝධන කිහිපයක්ම ප්‍රකාශයට පත් කෙරුණු අතර එයින් භාණ්ඩ හා සේවා මිල ගණන් විශාල ලෙස ඉහළ යනු ඇත. ඇතැම් ආනයනික බදු වැඩිවීම හේතුවෙන් පිටරටින් ගෙන්වනු ලබන එම බදුවලට යටත් කෙරෙන භාණ්ඩ මිල සියයට 100කින් ඉහළ යනු ඇති බවටද සඳහන් වෙයි. මේ ඇතැම් සංශෝධන අදියර තුනකින් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙහිදී විශේෂ සැලකිල්ලට යොමුවන බදු අතර පුද්ගල ආදායම් බදු අයකරන සීමාව මිලියන තුනේ සිට මිලියන 1.8 දක්වා පහත දැමීමද වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ උපයන විට ගෙවීමේ බද්දට මාසිකව රුපියල් ලක්ෂ එකහමාරකට වඩා වැටුප් ලබන සියලු‍දෙනා යටත් වීමය.

පෞද්ගලික අංශයේ ලක්ෂ එකහමාරක වැටුපක් යනු වර්තමානයේ පවතින උද්ධමනය සහ රුපියලේ අගය පිරිහීම සමඟ සංසන්දනාත්මකව බලන කල මහ ලොකු වැටුපක් නොවේ. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහාම මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල සහනයක් සැලසෙන පරිදි වැට් බදු සියයට 15 සිට සියයට 8 දක්වා පහත හෙළනු ලැබීය. එයින් රජය අහිමි කරගත් දේශීය ආදායම රුපියල් බිලියන 650කට අධික බව ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙනු ලැබීය. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට එදා එතරම් බදු සහන ලබාදුන් රජය පෞද්ගලික අංශයේ මාසික වැටුප ලක්ෂ එකහමාර ඉක්මවන පිරිස ඉලක්ක කර ගනිමින් මෙදා බදු දැලක් ඇටවීම බැලූ බැල්මට අසාධාරණ බව පෙනී යයි. ඩොලරයකට රුපියල් 350ක් ගෙවිය යුතු තරමට මුදල් ඒකකය පිරිහී පවතින තත්ත්වයක් තුළ ආදායම් බද්දකට හසුවිය යුතු තරම් ලොකු ආදායමක් වශයෙන් රුපියල් ලක්ෂ එකහමාරක වැටුපක් සැලකිය නොහැක.

අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමඟ සලකන විට සිදුකෙරුණු බදු සංශෝධනය අත්‍යවශ්‍ය එකක් වූ බව සත්‍යයකි. රටේ දේශීය ආදායම වර්ධනය කර ගැනීමකින් තොරව රටට එක අඩියක් හෝ ඉදිරියට තැබිය නොහැක. දේශපාලන හේතූන් පදනම් කර ගනිමින් රජයේ ආදායම අහිමි කරගෙන සිටි රජය ප්‍රමාද වී හෝ මෙවැනි පියවරකට යාම අරුමයක් නොවේ. ආදායම් බදු වැඩි කිරීම මේ මොහොතේ ගතයුතුම පියවරක් වුවද උපයන විට ගෙවීමේ බද්ද ක්‍රියාත්මක කිරීමේදී සහ වැට් බද්ද වැඩි කිරීමේදී පරෙස්සමින් කටයුතු කිරීම අවශ්‍යය. උපයන විට ගෙවීමේ බද්දට යටත් වන සීමාව පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වන්නා සේම වැට් බදු වැඩිවීමෙන් අඩු ආදායම් ලබන පිරිසට සිදුවන බලපෑමද අවධානයට ගතයුතුය. වැට් බද්ද සමඟ භාණ්ඩ සහ සේවා මිල තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැක. එය පහළ ආදායම් මට්ටමේ සිටින අයට පමණක් නොව මැදි ආදායම් මට්ටමටද දැඩි පීඩනයක් එල්ල කරන බව පැහැදිලිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා වැට් බදු ගෙවීම සම්බන්ධයෙන් වටිනා අදහසක් ප්‍රකාශ කර තිබිණි. 2019දී වත්මන් ආණ්ඩුව බලයට පැමිණ සිදුකළ බදු සංශෝධනයට පෙර කාර්තුවකට ලක්ෂ 30ක ආදායමක් උපයන පුද්ගලයන් සහ ව්‍යාපාර වැට් බදු ගෙවිය යුතුව තිබිණි. එහෙත් 2019දී කළ සංශෝධනවලින් පසු වැට් බදු ගෙවිය යුතු වූයේ කාර්තුවකට රුපියල් ලක්ෂ 750ක ආදායමක් උපයන පුද්ගලයන් සහ ව්‍යාපාර පමණි. ඒ හේතුවෙන් දහස් ගණනක පිරිසක් වැට් බදු ගෙවීමෙන් නිදහස් වූහ. එයින් වැඩි පිරිසක් යළිත් වැට් බදු දැලට හසුකර ගත යුතු බවත් අවම වශයෙන් කාර්තුවකට ලක්ෂ 250ක ආදායමක් ලබන පිරිසත් වැට් බදු දැලට හසුකර ගත යුතු බවත් මොරමුදලි මහතා යෝජනා කර තිබිණි. එය නිසැකවම රජයේ බදු ආදායම ඉහළ දැමීමකි. රජය තම බදු ආදායම වැඩිකර ගැනීමට පියවර ගැනීම ජාත්‍යන්තර අරමුදලේ සහ ලෝක බැංකුවේ සහාය ලබාගැනීමටද ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන සුබ ලකුණක් සේ දැකීමටද හේතුවනු ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

විවිධ ආණ්ඩු බලයට පත්වී කාලයෙන් කාලයට බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම රටේ ආර්ථික විනාශයේ එක් මූලික සාධකයක් බව පැහැදිලිය. බදු අඩු කිරීම සහ වැඩි කිරීම දේශපාලන පොර පිටියේ පාපන්දුවක් බවට පෙරළා ගැනීමේ කටුක ප්‍රතිඵල අපි භුක්ති විඳිමින් සිටිමු. එහෙත් කරුමය වන්නේ මේ රට ඒ අගාධයට තල්ලු‍ කළ දේශපාලනඥයන්ටත් ඔවුන්ගේ ගජ මිතුරන්ටත් පොදු මහජනතාව මුහුණ දෙන කටුක ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු නොවීමය. බදු ගෙව්වත් නොගෙව්වත් දේශපාලන බලවතුන් තමන්ගේ හිත මිතුරන් වී සිටින තාක් ඔවුන්ගේ කල්ල මරේය.

මේ තත්ත්වය දැන්වත් වෙනස් කළ යුතුය. බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම ඊළඟ මැතිවරණයකදී ඡන්ද පොරොන්දුවක් බවට පත් කිරීමේ පාපයෙන් රට මුදා ගැනීම අවශ්‍යය. රටේ ආර්ථිකයට හානියක් සිදු නොවන අවශ්‍යම අවස්ථාවකදී හැර බදු අඩු කිරීමේ සහ බදු අහෝසි කිරීම්වලට එරෙහිව ජනතාව අනලස්ව තම හඬ නැගිය යුතුය. එවැනි වෙනසකට යා නොහැකි නම් මහජනතාවට හැමදාමත් සිදුවනු ඇත්තේ පිට පොත්තට ඇලී තිබෙන බඩට තවත් පටි දමා තදකර ගැනීම පමණි.

(***)