යාල කැලේ අයාලේ ගිය ප්‍රභූ පුතුන් සම්බන්ධ නොනිමි සංවාදයක් ඇවිළී යමින් තිබේ. එම අනීතික ක්‍රියාදාමයට එරෙහිව ඇවිළ යන සංවාදයේ වැඩි බරක් යෙදවී තිබෙන්නේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙනි. එක් අතකට පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා කරන රට බවට අප රට පත්ව තිබෙන සෙයකි. එහෙත් පරිසර විනාශයට සම්බන්ධ ප්‍රවෘත්තිවලින් කිසිදු අඩුවක් නැත. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියක් එයට කදිම නිදසුනකි.
අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයකු නකල්ස් වනාන්තරයේ තෙල්ගමුඔය සංවේදී කලාපයේ ඉදිකළැයි කියන සංචාරක හෝටලයට කිසිදු වගකිවයුතු ආයතනයකින් අනුමැතිය ලබාගෙන නැතැයි බලධාරින් ප්‍රකාශ කරන බවය.
‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමුද ඒ දුක’ යනුවෙන් කියමනක් වහරෙහි එයි. මෙතැන සිදුවී තිබෙන්නේද එයමය. මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවා තිබෙන්නේ පරිසරය සංරක්ෂණය කිරීමටයි. එම අධිකාරියේ සර්ව බලධාරියා වන්නේ සභාපතිවරයාය. එම තනතුරට පත්විය යුත්තේ පරිසරය සම්බන්ධයෙන් අධිසංවේදී අයකු විය යුතුය. එමෙන්ම පරිසරය සම්බන්ධයෙන් දියත පතළ පළල් පුළුල් විසල් දැනුමක් ඇත්තකු විය යුතුය. එහෙත් බලධාරින් ප්‍රකාශ කරන්නේ නකල්ස් වනාන්තරයේ තෙල්ගමුඔය සංවේදී කලාපයේ හෝටලයක් ඉදිකර ඇති බවය. එම හෝටලය ඉදි කිරීමට කිසිදු වගකිව යුතු ආයතනයකින් අවසර ලබාගෙන නොමැති බවය. මෙහි ඇති විශේෂත්වය වන්නේ අදාළ චෝදනාව එල්ල වන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයකුට වීමය.
අප ප්‍රවෘත්තිය වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා ලග්ගල ප්‍රාදේශීය සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් සහ මාතලේ ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයෙන් අවසර ගත යුතු වුවත් එසේ අවසර නොගෙන මෙම හෝටලය ඉදිකර ඇති බවය. ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රාදේශීය සභාවෙන් අනුමැතියක් ගෙන නොමැති බවය. මාතලේ ගොවිජන සේවා කොමසාරිස් හර්ෂණී කුමාරිහාමි මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම හෝටලයට යන මාර්ගයක් කුඹුරක් මැදින් කපා තිබෙන බවට ගොවීන් කර ඇති පැමිණිල්ලකට අනුව එම මාර්ගය කැපීම දැනට තහනම් කර තිබෙන බවය. මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කෝෂල වැලිකන්නගේ මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයෙන් අවසර නොදුන් බවය. මෙම ඉදිකිරීම ගැන පරිසර අමාත්‍යංශයට දැනුම් දීමක් කළ පසු තමාට කුරුණෑගලට මාරුවක් ලැබුණු බවය.
නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන බව නීති සිද්ධාන්තයකි. එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා නීතිය නොදන්නේ යැයි විශ්වාස කළ නොහැකිය. එසේ නම් මෙහි ඇත්තේ බලය නිසා විනා අන් යමක් නොවේ. තමා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති හෙයින් තමාට නීති රීති වලංගු නැති බවත් තමාට සිතෙන ඕනෑම දෙයක් කළ හැකි යැයි ඔහු සිතුවා විය හැකිය. නොදන්නාකම සාඩම්බර පදක්කමක්ව පළඳින මෙබඳු නිලධාරින් ද රට වැටී තිබෙන මෙම අගාධයට වගකිව යුතුය. එහෙයින්ම ‘225ම එපා’ යන සටන් පාඨයට ‘මෙබඳු නිලධාරින්ද එපා’ යන්න ආදේශ විය යුතුය.
අප රටේ සම්පත් අප ජනතාවට හොඳින් කා බී සැපෙන් සතුටෙන් ජීවත්වීමට හොඳටම ප්‍රමාණවත්ය. ලෝකෙට අත නොපා ජීවත්වීමට හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් උප නූපන් දූ දරු පරම්පරාවන්ද ලෝකය හමුවේ ණයකාරයන් බවට පත්කර අප ජනයා නින්දා සහගත අවමානයට ලක් කර තිබෙන්නේ රට තුළ ඇති සම්පත් කාබාසිනියාකාරයන් විසින් විනාශ කර ඇති හෙයිනි.
මධ්‍යම පරිසරය සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු එස්. පී. ලියනාරච්චි මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ මහනුවර මහ නගර සභාවේ සහ රජයේ ඇතැම් දූෂිත නිලධාරින්ගේ සහාය ලබා ගනිමින් ගන්නෝරුව මහවැලි හක්කිඳ දූපත් ආශ්‍රිත අධිආරක්ෂිත පාරිසරික කලාපයේ ඉඩම්වලට බලවත් ව්‍යාපාරිකයන් ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බවය. ඒ බව තහවුරු කිරීම පිණිස අවශ්‍ය ලිපි ලේඛන සියල්ලම තමන් සතුව තිබෙන බව අවධාරණය කර ඇති ඒ මහතා හැකිනම් නෛතික පියවර ගන්නා ලෙස මහනුවර මහ නගර සභාවට සහ අදාළ රාජ්‍ය නිලධාරින්ට අභියෝග කරන බවය.
ඒ මහතා අනාවරණය කළ තවත් කරුණක් වන්නේ හන්තාන හා මහවැලි ගඟ ආශ්‍රිතව විශාල පරිසර හානියක් සිදු කරමින් සිදුකරන අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලැබූ බොහෝ නඩුකරයන් ඉහළ නිලධාරින්ගේ බලපෑම් මත ඉවත් කර ගැනීමේ සූදානමක් තිබෙන බවය.
මේවා කියවන විට මේ රට කවදා ගොඩගත හැකි දැයි ප්‍රශ්නයක් මතුවීම ස්වාභාවිකය. ඇත්තෙන්ම දිගින් දිගටම සිදුවන්නේ මෙබඳු දූෂිත අනීතික ක්‍රියාදාම නම් අනාගත පරපුරට රටක් ඉතුරු නොවනු ඇත.
(***)