රටේ අපට තව කී දවසක් මෙහෙම ඉන්න සිදුවේද?


දේශපාලන කලබැගෑනිය අවසන් අදියරට පැමිණෙමින් තිබේ. අරගල බිම් අරගලකරුවන්ගෙන් හිස් වෙමින් පවතින අතර සාමකාමී බල හුවමාරුවකට අදාළ පාර්ශ්ව කැමැත්ත පළ කිරීම සන්සුන් සංහිඳියාවකට මගකි. එහෙත් ඇත්ත ප්‍රශ්නය තවමත් එලෙසින්මය. ජනයා අරගලකරුවන් බවට පත් කළ හේතු කිසිවක් විසඳී නැත.

‘ලොක්ඩවුන්’ යන යෙදුම අපගේ ව්‍යවහාරයට එක්වූයේ කොවිඩ් මාරක වසංගතය හමුවේදීය. අද එම කොවිඩ් රළ බැස ​ ගොසිනි. එහෙත් මුළු රටෙන්ම දිස් වන්නේ ‘ලොක් ඩවුන්’ තත්ත්වය හෙවත් රටම හුදෙකලාකර ඇති තත්ත්වයකි. ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහනය බිඳ වැටීම එයට හේතුවයි. ප්‍රධාන මාර්ග සියල්ලෙහිම පාහේ ඉඳහිට බසයක් ධාවනය වන තත්ත්වයකි. දුම්රිය ධාවනය මහමගට පිවිසෙන ජන ගඟට නොසෑහේ. මෙම තත්ත්වය රටේ මුළු මහත් පැවැත්මටම මාරාන්තික තර්ජනයක් එල්ල කර තිබේ.

ප්‍රවාහනය බිඳ වැටීම නිසා පාසල් වසා දැමුණි. විශ්වවිද්‍යාල කොවිඩ් සමයේ සිටම වසා දමා තිබේ. විශ්වවිද්‍යාල පද්ධතිය ‘ඔන් ලයින්’ තාක්ෂණය ඔස්සේ සක්‍රිය  යැයි පැවසුව ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු එය නොවන බව ඒකාන්ත සත්‍යයකි. රටක අධ්‍යාපනය මෙබඳු අඳුරු ඉරණමකට ලක්වූ පසු රටේ අනාගතයට අත්වන ඉරණමද තේරුම් ගත යුතුය. ඉන්ධන ප්‍රශ්නය කඩිනමින් විසඳීමේ අවශ්‍යතාව ඒ අර්ථයෙන් හෝ වටහා ගත යුතුය.

මහජනයාට රැකී රක්ෂා සඳහා යාමට නොහැකි වූ විට නිෂ්පාදනය මුළුමනින්ම බිඳ වැටේ. සේවා අඩපණ වේ. තාර්කික යථාර්ථය වනුයේ ආර්ථිකයේ අවසන් හුස්ම පොදද හිරවීමය. එහි නියත ප්‍රතිඵලය වන්නේ දැනට තිබෙන ආර්ථික වගුර තව තවත් ගැඹුරුවීමය. විසඳුමක් සොයාගත නොහැකි තැනට ආර්ථිකය ඇද වැටීමය.

අප පුවත්පත වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියවුණේ ගම්පොළ පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් කාච්චමලේ විඩන් කොටසේ දී මාර්ගයේ පැත්තක ඇති පැති බැම්මකට හේත්තුවීමෙන් බස් රථයේ පාපුවරුවේ ගමන් කළ දෙදෙනකු බස් රථයට හා පැති බැම්මට සිරවීමෙන් මියගොස් ඇති බවය. පවතින ඉන්ධන හිඟය සමග ගමන් බිමන් යාමට වාහන  කිසිවක් නොමැති  පිරිස බසයේ දොරේ ද එල්ලි පැමිණ ඇති බවත් එම ප්‍රවෘත්තියේ සඳහන්ය. සිද්ධිය  සමග එම ස්ථානයට පැමිණි වතු ජනයා කෝපයට පත්ව බස් රථයට ගිනි තැබීම නිසා  බස් රථය මුළුමනින්ම විනාශ වී ඇති බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

රටේ පුරවැසියන් මෙවන් අකල් මරණවලට ගොදුරු නොවිය යුතුය. එමෙන්ම බස් ගිනි තැබීම් වැනි අනීතික ක්‍රියාවලට යොමු නොවිය යුතුය. එහෙත් අර්බුදය උත්සන්නවීම තුළ මෙවැනි සිදුවීම් බහුල විය හැකිය. සමාජ පැවැත්ම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් මේ කාරණා ද සැලකිල්ලට ගත යුතුය.

අප හැමදාමත් අවධාරණය කරනු ලැබුවේ රටක පුරවැසියා සතුටෙන් තැබීම පාලකයන්ගේ වගකීම බවය. එමෙන්ම එය රටේ පුරවැසියා සතු අනුල්ලංඝනීය අයිතියකි. එහෙත් මේ රටේ පුරවැසියාගේ එම අනුල්ලංඝනීය අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය වී තිබේ. දින ගත අට ඉන්ධන පෝලිම්වල නිරා දුක් විඳින පුරවැසියාගේ ජීවිතයට අත්වන ඉරණම කුමක්දැයි තේරුම් ගැනීම අසීරු නැත. එය ඔහුගේ දරු පවුල්වලට බලපාන දුක්ඛිත ඉරණමකි. ඉන්ධන පෝලිම්වල මිය යාමේ ඉරණමත් ඉන්ධන පෝලිම්වල ඇවිළී යන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ජීවිත අහිමිවීමේ තත්ත්වයත් පරිසරය බැරෑරුම්කර තිබේ.

රට ඉතාම නරක තැනකට ගමන් කරමින් තිබෙන බව බොහෝ කාලයක සිට අපි ලීවෙමු. මෙම ගමනාන්තය සුබදායක නොවන බව දැන්වීමු. දැන් රට යළිත් ගොඩගත නොහැකි ප්‍රපාතයකට ඇද වැටී තිබේ. කවුරු කීවත් නොකීවත් අද දවසට වඩා හෙට දවස බැරෑරුම්ය. හෙටට වඩා අනිද්දා තවත් බැරෑරුම්ය. මෙහෙම කලක ඉපදීමට කළ පාපය කුමක්දැයි ජනතාවට සිතන්නට සිදුවී තිබෙන්නේ මෙම පරිසරය තුළය.

පාර්ලිමේන්තුව තවමත් ක්‍රියාත්මකය. එහි මහජන නියෝජිතයෝ 225ක් සිටිති. ඔවුන්ගේ පරම වගකීම වන්නේ රටත් ජනයාත් මේ ප්‍රපාතයෙන් ගොඩ ගැනීමය. එම වගකීම ඔවුන් ඉදිරිපිට තිබේ.

තනතුරු බෙදා හදා ගැනීමට ඇති උනන්දුව ජනතාව මේ ආපදාවෙන් ගොඩ ගැනීමට ඇති කරගත යුතුය. ඊයේද අයත් වන ඉතිහාසය අමතක කර කටයුතු කිරීමට අයිතියක් නැත. ජනතාවට වුවමනා කරනුයේ හේතු නොව විසඳුම්ය. තමන්ට එම විසඳුම් දිය නොහැකි හෝ එයට දායකවීමට තරම් සමත්කමක් තමන්ට නොමැති බව හැඟී යන්නේ නම් ඒ බව ජනතාවට පවසා සාමකාමී ලෙස වේදිකාවෙන් බැස යාම ජනතා නියෝජිතයන්ගේ වගකීමය..

(***)