ව්‍යවස්ථාදායකය යනු නීති සකස් කිරීමට, වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති, සාකච්ඡා කිරීම සඳහා වූ නියෝජිත සභාවකි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය නම් පාර්ලිමේන්තුවයි. එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නීති සදන්නෝය, නීති සම්මත කරන්නෝය, නීති වෙනස් කරන්නෝය. ඇතැම්හු ඉඳහිට නීති කඩන්නෝය. නීති කැඩූ ඇතැම් මන්ත්‍රීවරු මේ වන විට ශ්‍රී ලංකාවේ නීති හදන්නට, වෙනස් කරන්නට හා නීති සම්මත කරන්නට හවුල් වෙති. ඇතැමුන්ට මිනීමරු චෝදනා එල්ල වී තිබිණි.
පාර්ලිමේන්තුවේ නීති හදන්නට හවුල් වන එක් මන්ත්‍රීවරයකු නීති කඩා වසර පහකට අත්හිට වූ වසර දෙකක (2) බරපතළ වැඩ සහිත දඬුවමක් නියම වූ අයෙකි. එවැනි එක් මන්ත්‍රීවරයෙක් තමා තනිව නිවසේ ඉන්නා බව කියමින් හැකි නම් තමා හමුවට එන්නට නොබෝදා සතුරන්ට අභියෝග කළේය.
නීති හදන්නන්ගේ ගොන්නට තවත් නීති කඩන්නෙක් නොබෝදා එක් වූයේය. හෙතෙම මන්ත්‍රී වරප්‍රසාද භාවිතකොට රන් බිස්කට් හා ජංගම දුරකතන හොරෙන් රට තුළට ගෙනා වරදට උදේ වරුවේ දඩ කා, දිවා කාලයේ පාර්ලිමේන්තුවට පැමිණ විවාදයක් අවසානයේ ඡන්දය ප්‍රකාශ කළේ, රටේ නීති හදන්නට හවුල් වෙමිනි.
එතැනින් නොනැවතුණු එම මන්ත්‍රීවරයා මාධ්‍යයට අභීත ප්‍රකාශයක් දෙමින් කියා සිටියේ තමන්ගේ අනුදැනුමෙන් තොරව ගෝලයා තමන්ගේ ගමන් මල්ලට කිලෝ ගණනක් බර, මිලියන් ගණනක් වටිනා රත්තරන් බිස්කට් ඔබා ඇති බවයි. ඔහුගේ ප්‍රකාශය එතැනින් නොනැවතිණි. තමන් දඬුවමෙන් බේරාගන්නට ආණ්ඩු පක්ෂයෙන් සහයෝගයක් නොලැබුණු නිසා තමා අනිත් මතයට පක්ෂව ඡන්දය දුන් බවද ඔහු අභීතව ප්‍රකාශ කළේය.
රටේ නීති හදන්නට හවුල් වන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු යෝජනාවකට අදාළ ඡන්දය පාවිච්චි කරන්නේ එවැනි පෞද්ගලික හේතු මත බව දැන දැනත් අපි කෙසේ නම් කම්පාවට පත්ව නොසිටින්නෙමු ද? තමන්ගේ ගමන් මල්ලට ගෝලයා රන් බිස්කට් එබූ බව නොදැන කිලෝ ගණනක් බර රැගෙන කිලෝමීටර දහස් ගණනක් අහසේ පියාසර කර පැමිණි මන්ත්‍රීවරයකු ගෙන් ඊට වඩා මනෝඥ ප්‍රකාශයක් බලාපොරොත්තු විය නොහැකිය.
රටක නීති සාදන්නන් ඊට වඩා ආදර්ශවත්ව කටයුතු කළ යුතු බව කියන්නට ජනතාවට අයිතිය ඇත්තේ ඔවුන් ජනතාව උදෙසා සේවය කරන්නට ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ අය බැවිනි.
ජනතාව වෙනුවෙන් සේවය කිරීම උදෙසා මන්ත්‍රීවරුන්ට පිදෙන වරප්‍රසාද බොහෝය. එහෙත් ධන තණ්හාව හේතුවෙන් එම වරප්‍රසාදම භාවිත කොට, වස්තුව ගොඩ ගසන්නේ නම් තමන්ට ඡන්දය දුන් ජනතාවට ඔවුන් දක්වන ගෞරවය කෙතරම්දැයි පැහැදිලිය.
රටේ දේශපාලකයන් මේ තත්ත්වයට පත්වීම දශක ගණනාවක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයකි. වැඩිපුර සහනාධාර දීමට පොරොන්දු වන දේශපාලකයන්ට ජනතාව තම ඡන්දය පිදූහ.
රැකියා ලබා ගැනීම සඳහා දේශපාලන දැන හැඳුනුම්කම් පස්සේ යන්නට ජනතාව පුරුදු විය. රැකියාවේ උසස්වීම් ගන්නට රැකියාවේ මාරුව හදාගන්නට ජනතාව මන්ත්‍රීවරයාගේ පිහිටම පැතුවෝය. ඒ ඔස්සේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයාට ප්‍රභූත්වයක් ඉබේම ආරූඪ විය. අවසානයේ දේශපාලකයන් සිදුකරන දූෂණ දේශපාලනයේම කොටසක් ලෙස පිළිගන්නට තරම් ජනතාව උදාසීන වූහ. කොමිස් ගැහිලි, විනිවිදභාවයෙන් තොර ගනුදෙනු ආදිය සිදු වන බව දැන දැනම ජනතාව කර බාගත්තෝය.
දැන් උදේ නීති කඩ කොට හවස නීති හදන්නට හවුල් වන්නට තරම් මන්ත්‍රී ගණයා එඩිතර වී ඇත. මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාදවලට මුවා වී නීති කඩා උත්තරීතර සභාවේ හිඳගෙන වහසි බස් දොඩවන අය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස හඬ නැගීමට හැම අතින්ම ජනතාවට අයිතියක් තිබේ.
(***)