රටේ ප්‍රධාන ප්‍රශ්නය වාහන පර්මිට් දීමද?


වසර කිහිපයක් තිස්සේ ඇනහිට තිබෙන වාහන ආනයනය යළි ඇරැඹෙන බවට කතා බොහොමයකි. රජයෙන් ප්‍රකාශ කෙරෙන්නේ, බොහෝ දුරට ලබන වර්ෂය ආරම්භයේ සිට වාහන ආනයනය ආරම්භ වීමට ඉඩ තිබෙන බවය. වාහන ආනයනය සමගම ඇදී තිබෙන තවත් මාතෘකාවක් වන්නේ, වාහන පර්මිට් ලබා දීමය. වාහන පර්මිට් නොමැතිව ළතැවෙන දේශපාලනඥයෝ මෙන්ම රජයේ උසස් නිලධාරීහු ද මෙරට වෙති. මේ ඇතැමුන්ට වඩාත් සංවේදී රටේ ප්‍රධානම ගැටලුව වෙන කිසිවක් නොව වාහන පර්මිට් නොලැබීමය.

මෙය රජයට ද ගැටලුවක් වී ඇතැයි පසුගිය දිනවල සිදු වූ ඇතැම් කතාබහ ඔස්සේ පෙනෙන්නට තිබිණි. එයට දැන් විසඳුමක් ලැබී තිබේ. රජයේ පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයකින් ප්‍රකාශ වන්නේ, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දීමට රජය තීරණය කර ඇති බවය. එම තීරු බදු සහනය ලබා දීමට නියමිත විශ්‍රාමිකයන් වන්නේ, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර, පසුව අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලයේදී අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් බව ද සඳහන්ය.

විශ්‍රාමික ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටලු අතරේ වාහන පර්මිට්, එක් ගැටලුවක් පමණි. අනෙක් සියලු ගැටලු පසෙකට දමා වාහන පර්මිට් ලබා දීමට මේ තරම් උනන්දුවක් ඇති වීමට කිසියම් හේතුවක් තිබිය යුතු යැයි කෙනකුට සැක පහළ වුවහොත්, එය විශ්මයට කරුණක් නොවේ. විශේෂයෙන්ම, රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයේ කම්පන තවමත් දැනෙමින් තිබියදී එවැනි තීන්දුවක් ගැනීම ප්‍රශ්න සහගතය. බදු සහිත හෝ බදු රහිත හෝ වාහන පර්මිට් දීම පමණක් නොව මෙරටට වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබුවේ ආර්ථික අර්බුදයට ප්‍රධාන කාරණාවක් වූ විදේශ විනිමය සංචිතය සිඳී යාම හේතුවෙනි. මේ වන විට සංචිතය ඩොලර් බිලියන 4 ඉක්මවා වර්ධනය වී තිබෙන බව රජය ප්‍රකාශ කරයි. විදෙස් ණය නොගෙවන තත්වයක් තුළ එම වර්ධනය දැකිය හැකි වුව ද, එය සමස්ත ආර්ථික ගැටලුව විසඳීමක් වශයෙන් කිසිසේත් සැලකිය යුතු නැත. එවැනි තත්වයක් පවතිද්දී යළිත් වාහන පර්මිට් ලබා දීමට තීරණය කිරීම කොතෙක් දුරකට උචිත දැයි යළිත් වරක් සිතා බැලිය යුතු බව අපගේ විශ්වාසයයි. ආර්ථිකයේ වර්ධනයට නොව පිරිහීමට එය හේතුවක් විය හැකි බැවිනි.

වාහන ආනයනය තහනම් කර තිබෙන අවස්ථාවක වාහන පර්මිට් ලබා දීම පමණක් පලක් නැත. එම තීරණය අර්ථ ගැන්වීමට නම්, වාහන ආනයනයට ද ඉඩ දිය යුතුය. එහෙත්, රජය තවමත් එවැනි තීන්දුවකට එළැඹ ඇති බවක් ප්‍රකාශ නොවේ. එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 105 දෙනකු ද තමන්ට බදු රහිත වාහන ගෙන්වා ගැනීමට පර්මිට් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද කියැවෙයි. එසේ නම්, රජයේ විශ්‍රාමික නිලධාරීන්ට බදු සහිත වාහන පර්මිට් ලබා දෙන්නේ, බදු රහිත පර්මිට් ලබා දීමට පෙර සූදානමක් හැටියට දැයි කෙනකුට සැක පහළ වීමට ද ඉඩ තිබේ. රටේ පොදු මහජනතාව දැඩි ලෙස ආර්ථික වශයෙන් පීඩනයට පත්ව සිටියදී ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් නොවී කිසියම් පිරිසකට පමණක් වාහන පර්මිට් ලබා දීමට තීන්දු ගැනීම අසාධාරණයක් බව පෙන්වා දිය යුතුය.

සමාජ අසාධාරණයට හේතු වන මෙවැනි තීන්දු ගැනීම වඩාත් කළු පැල්ලමක් වශයෙන් මතු වන්නේ, ලංකාවේ ජනගහණයෙන් බහුතරයක් තවමත් දුප්පතුන් වශයෙන් ජීවත්වන බැවිනි. වාහන ආනයනය පවා තහනම් කෙරුණු ආර්ථික අර්බුදය මගින් එම දුප්පත්කම තවදුරටත් වර්ධනය කර තිබේ. රටට අවශ්‍ය වන්නේ, දුප්පත්කම අඩු කරගත හැකි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම මිස, එය වර්ධනය කෙරෙන දේශපාලන වශයෙන් වාසිදායක විය හැකි තීන්දු ක්‍රියාත්මක කිරීම නොවන බව ද සඳහන් කළ යුතුය.

(***)