ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතුළතදී පැවැත්විය යුතු අතර, ඒ සඳහා වන මැතිවරණ කොමිසමේ නිල ප්‍රකාශනය ජුලි මාසයේ මැදභාගයේදී ප්‍රකාශ කෙරෙන බව ද සඳහන්ය.
එහෙත්, ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වුවහොත්, මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වනු ඇත. මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, මහ මැතිවරණය කලින් තැබීමට සිදු වුවහොත් ඒ සඳහා ද තමන් සූදානම් නමුත්, ජනාධිපතිවරණය නියමිත දිනය තුළදී පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදු වන බවය. එම මැතිවරණ දෙකම එකම දිනයකදී පැවැත්වීමට ඉඩක් නොමැති බව ද කොමිසම ප්‍රකාශ කර තිබිණි.
ජාතික මැතිවරණයක් පැවැත්වීමට අදාළව පසුබිම සකස් වෙමින් තිබියදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල දේශපාලනඥයන් කලබලයට පත්වීම සාමාන්‍ය තත්වයකි. එය බලාපොරොත්තු විය යුතුය. තමන්ගේ අනාගත දේශපාලනය සඳහා ජාතික මැතිවරණය ඉතාම තීරණාත්මක වන බැවිනි. එහෙත් මේ සමග කලබල වන තවත් පිරිසක් ද වෙති. ඊට අයත් වන්නෝ මෙරට රාජ්‍ය නිලධාරීහුය. විශේෂයෙන්ම විධායක මට්ටමේ සහ ඊට ඉහළින් සිටින ඇතැම් රජයේ නිලධාරීන් මැතිවරණයක් ආසන්න වන විට සිටින්නේ සංක්‍රාන්ති සමයකට සම වැදී සිටින ආකාරයෙනි. ඔවුන්ට අනුව මේ ගෙවෙන්නේ තම රාජකාරි මට්ටමේ ‘නොනගතය’කි.
මේ තත්වයට ඇතැම් රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන්නේ ඔවුන් දේශපාලනයට අනියමින් හෝ සම්බන්ධ වීම හේතුවෙනි. සමහර රාජ්‍ය නිලධාරීහු පවතින දේශපාලනය සමග ඍජුවම සම්බන්ධ වෙති. දේශපාලනඥයන්ගේ අතකොලු බවට පත්වෙති. එහි එක් අවාසනාවන්ත ප්‍රතිඵලයක් වශයෙන් සමහර රාජ්‍ය නිලධාරීන් නවතින්නේ බන්ධනාගාරයේය. තවත් සමහරු රට හැර යති.
රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් සමග එක්වී රාජකාරි ඉටු කිරීම වැරැද්දක් නොවේ. නිලධාරීන්ගේ සහාය නොමැතිව මැති ඇමැතිවරුන්ට තමන්ගේ සේවය ඉටුකිරීමට හැකියාවක් නැත. රජයේ නීති, රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ද සිදු වන්නේ රාජ්‍ය නිලධාරීන් හරහාය. අමාත්‍යාංශයක ලේකම් ධුරයේ සිට රාජ්‍ය ආයතන ප්‍රධානීන් දක්වා නිලධාරීහු දේශපාලනඥයන්ගේ නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිති. එහෙත් ගැටලුව වන්නේ, මේ ඇතැම් නිලධාරීන් දේශපාලනඥයන් සමග පවත්වන සබඳතා රාජකාරි මට්ටමෙන් ඔබ්බට ගෙන ගොස් ඔවුන්ගේ අතකොලු බවට පත්වීමය. එසේ අතකොලු බවට පත් වන නිලධාරීන්ට නීත්‍යනුකූල නියෝග ක්‍රියාත්මක කිරීමට නොව මැති ඇමැතිවරුන්ගේ බඩගෝස්තර දේශපාලනයේ නියෝජිතයන් වශයෙන් ක්‍රියා කිරීමට සිදු වෙයි. ඒවායේ ප්‍රතිඵල පසුගිය කාලය පුරාම අපි දැක ඇත්තෙමු. රාජ්‍ය නිලධාරීන් පවත්වාගත යුතු රාජකාරියේ අභිමානය රැක ගැනීම ද එවිට ඔවුන් අතින් ගිලිහී යයි.
එහෙත්, එසේ නොවී දේශපාලනඥයන්ගේ විවිධ නොනිල ඇඟිලි ගැසීම්වලට එරෙහි වන ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ද සිටින බව ද ඒ සමග පෙන්වා දිය යුතුය. වයඹ පළාතේ ප්‍රධාන ලේකම් ධුරය හෙබවූ රංජිත් ආරියරත්න මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට රජය තීරණය කළේ, ඔහු පළාතේ ඇතැම් දේශපාලනඥයන්ගේ බලපෑම්වලට යට නොවී නීතියට අනුව රාජකාරි ඉටු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව කියවෙයි. ඔහු අවංක රාජ්‍ය නිලධාරියකු බවට පළාතේ සෙසු නිලධාරීන් ද වටිනා සහතිකයක් ලබා දී තිබිණි. දේශපාලකයන්ගේ අතකොලු බවට පත්නොවී තමන්ගේ රාජකාරිය දේවකාරියක් සේ සලකා කටයුතු කරන එවැනි නිලධාරීන්ට සමස්ත සමාජයේම ගෞරවය හිමි විය යුතුය. එවැනි ඉහළ පෙළේ නිලධාරීන් විශාල පිරිසක් රාජ්‍ය සේවයේ නියුතුව සිටින බවත් එම නිලධාරීන්ට ගෞරවයක් වශයෙන් සඳහන් කරමු. එවැනි නිලධාරීන් රැක ගැනීම සෑම රජයකම වගකීමක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.
(***)