මහජනතාවට බරක් නොවන අයවැයක් සකස් කිරීමට පරෙස්සම් වූ බව තම මංගල අයවැය ප්‍රකාශයට පත්කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. එසේ වුවද අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යාංශය මගින් කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී රාජ්‍ය සේවය පිළිබඳ මුදල් අමාත්‍යවරයා කළ සඳහන රටේම අවධානය දිනාගෙන තිබේ. ඔහු එහිදී ප්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ බර රජයට තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව තිබෙන බවය.
තවත් වසරක් සඳහා රාජ්‍ය සේවයට මහජන අරමුදල් වෙන් කිරීමට හැකි තත්ත්වයක රජය නොසිටින බව ද රජයේ සේවකයන්ට තවදුරටත් “ලොසින්ජර” ලබාදීම අවශ්‍ය නැති බව ද ඔහු වැඩිදුරටත් කියා තිබිණි.
මේ රටේ රාජ්‍ය සේවය දිගින් දිගටම අසීමිත ලෙස ප්‍රසාරණය වෙමින් පවතින බව බැලූ බැල්මටම පෙනෙන සාධකයකි. තත්ත්වය එසේ වනවිට රාජ්‍ය සේවයේ අධික වැටුප් බර ඉතා දුර්වල ආර්ථිකයක් පවතින මේ රටට තවදුරටත් දරාගත නොහැකිවීම බලාපොරොත්තු විය යුත්තකි. රාජ්‍ය සේවයට එකතුවන සේවක සංඛ්‍යාව පමණක් නොව රාජ්‍ය සේවයේ වැටුප් තල ද වාර්ෂිකව ඉහළ යමින් පවතී. ඒ අතරවාරයේ වෘත්තීය සමිති අරගල හරහා ද වැටුප් වැඩි කෙරේ. වැටුප් විෂමතා සකස් කිරීම් වශයෙන් ද සිදුවන්නේ වැටුප් තල ඉහළ යාමය. රාජ්‍ය බැංකු සහ රාජ්‍ය ආයතන සේවකයෝ සාමූහික ගිවිසුම් හරහා වසර තුනකට වරක් වැටුප් වැඩිකර ගනිති. මේ සියලු වැඩිවීම් සිදුවන්නේ රජයේ ආදායම් තත්ත්වය දිගින් දිගටම පහළ යන තත්ත්වයකදී වීම ලොකුම ඛේදවාචකයයි.
රාජ්‍ය සේවයට ඇතුළු වීමට තරුණ තරුණියන් (රැකියා විරහිත උපාධිධාරීන් ද ඇතුළුව) දරන උත්සාහයේ ලොකුම “ලොසින්ජරය” විශ්‍රාම වැටුප බව රහසක් නොවේ. විශ්‍රාම වැටුපට ලොල් වී අතේ තිබෙන වටිනා පෞද්ගලික අංශ රැකියා පවා අතහැර රාජ්‍ය සේවයට එකතුවීමට වෙර දරන තරුණ පිරිස් ඕනෑ තරම් සිටිති. රාජ්‍ය සේවයේ රැකියා ලබාදෙන බවට සෑම ප්‍රධාන මැතිවරණයකදීම දේශපාලන නායකයන් විසින් තරුණ තරුණියන්ට ලබාදෙන පොරොන්දුව බලය ලබාගැනීමේ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත. මේ වාතාවරණය යටතේ ඕනෑම මුදල් අමාත්‍යවරයකුට බජට් එක බැලන්ස් කර ගැනීම උභතෝකෝටිකයක් වීම වළක්වාගත නොහැක.
රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට දැරිය යුතු වියදම බජට් එකේ සාරය උරාබොන විට සෙසු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සකල ලෝකයටම ණය වීමට සිදුවීම අරුමයක් නොවේ. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා රාජ්‍ය සේවය පිළිබඳව සිදුකළ ප්‍රකාශය රජයේ සේවයේ බොහෝ දෙනකුට දිරවා ගැනීම අසීරු විය හැකි වුවද ඔහු මේ ප්‍රකාශ කරන්නේ යථාර්ථය බව සියලුදෙනා විසින්ම අවබෝධ කරගත යුතුය. රාජ්‍ය සේවය තවදුරටත් රටේ ආර්ථිකයේ “බරවා කකුල” බවට පත්විය යුතු නැත. එහෙත් දේශපාලන නායකයන් තමන්ට අහිමි විය හැකි ඡන්දය හේතුවෙන් “බරවා කකුල” අතහරින්නට කැමැති නැත.
රාජ්‍ය සේවය රටට වැදගත් නොවන බවක් මෙයින් අර්ථ නොගැන්වෙයි. එහෙත් හුදෙක් දේශපාලන වාසි තකා රජයේ රැකියා ලබාදීමේ පිළිවෙතින් බැහැරවීමට දේශපාලනඥයන් දැන්වත් සිතට ගත යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු. රැකියා ලබාදීමට මැති ඇමැතීන්ට ඉඩ ලබා දී රාජ්‍ය සේවය රටට බරක් යැයි පැවසීම නන්දෙඩවීමක් පමණි. පවතින යථාර්ථය හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම රජයක වගකීමය. ඇතැම් රාජ්‍ය ආයතනවල කරන්න රාජකාරියක් තබා හිඳ ගැනීමට පුටුවක් හෝ නොමැති පිරිස් ද සිටින බව වරින්වර වාර්තා වුවද රජයේ සේවයේ රැකියා ලබාදීම තාවකාලිකව හෝ නැවැත්වීමට කිසිදු රජයක් පියවර ගත්තේ නැත.
එපමණක් නොව රාජ්‍ය සංස්ථා සහ විවිධ ආයතන ලබන අධික පාඩුව ද රටේ අයවැයට ඇති කරන්නේ විශාල බරකි. මේ වනවිට එවැනි ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති තරමට තත්ත්වය බරපතළ වී තිබේ. රටේ ආර්ථිකයේ රීරිමාංස උරා බොමින් පවත්වාගෙන යන මේ ආයතනවල සේවකයන් වැටුප් ලබන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදලිනි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, තෙල් සංස්ථාව, පොදු ගමනාගමන සේවා, ලංවිම ඇතුළු බොහෝමයක් රාජ්‍ය ආයතනවල සැබෑ තත්ත්වය එයයි. මෙවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්දැයි අයවැය ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් නොවීම අඩුපාඩුවකි. රාජ්‍ය සේවයට ලබාදෙන පෙට්‍රල් ප්‍රමාණය ලීටර් කිහිපයකින් කප්පාදු කිරීම එයට පිළිතුරක් නොවේ.
රටේ ආර්ථික තත්ත්වය යළි පණගැන්වීමට පැලැස්තර විසඳුම් ප්‍රමාණවත් නැත. ඒ සඳහා ප්‍රබල ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතු තත්ත්වයකට රට තල්ලු වී තිබේ. එහෙත් එවැනි බරපතළ වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය දේශපාලන ධෛර්ය වත්මන් රජය තුළ තිබේද යන්න ගැටලුවකි. අඩුම තරමින් තාවකාලික පියවරක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකතුවීමට හෝ රජය දක්වන අකැමැත්තෙන් එය පැහැදිලි වෙයි. ඔවුන්ගේ මූලිකම කොන්දේසියක් වනු ඇත්තේ රාජ්‍ය සේවය කප්පාදු කිරීම බැවිනි. රටේ පවතින බරපතළ ආර්ථික ගැටලුවලට විසඳුම් ඇත්තේ මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධි සහ පෝට් සිටියට එන ඩොලර් බිලියන 35 වැනි සිහින ලෝකවල නොව මහපොළොවේ යථාර්ථය මත බව හඳුනාගන්නා තුරු අපේ රටට ගැලවීමක් නම් නැත.
(***)