රිය අනතුරු නීති දැඩි කරනු විනා ලිහිල් කිරීම කාලෝචිතද?


අනුරාධපුර රඹෑව නගරයේදීත් හයිලෙවල් මාර්ගයේ කොස්ගම  මිරිස්වත්තේදීත් එකම දිනයක සිදුවූ රිය අනතුරු දෙකකින් පාසල් සිසුන් තිදෙනකු ඇතුළු පස් දෙනකු මියගිය පුවතක්  පසුගියදා  මාධ්‍යවල සිරස්තල මවා තිබිණි. අනුරාධපුරයේ දී රිය අනතුර සිදුකර තිදෙනකු මරාගෙන පැනගිය කැබ්රථයේ සිටි සැකකාර රියැදුරු ඇතුළු තිදෙනාම වයස අවුරුදු 20ට අඩු හිරිමල් වියේ සිටි තරුණ ගැටවුන් පිරිසක්වීම මේ අනතුරේ ඉතා අඳුරු රේඛාවක් සටහන් කර තිබේ.

ඒ එම රියැදුරුට රිය පැදවීමේ දී  රියැදුරුවරයකු සතුව තිබිය යුතු දැනුම, වගකීම සහ ඉවසීම වැනි කිසිදු ගුණාංගයක් පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් නොතිබීමයි. එහි ප්‍රතිඵලය වී තිබුණේ මුළු අනුරාධපුරය ම කම්පනයට පත් කරවමින් තවත්  තරුණ සහ යොවුන් වියේ පසුවූ පාසල් දරුවන් ඇතුළු තිදෙනකුට සිය ජීවිත අහිමිවීම ය.

අප මේ රිය අනතුරු දෙක පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නේ රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ දී කළ යුතු වෛද්‍ය පරීක්ෂණයේ දී  පෙනීම සම්බන්ධව මෙතෙක් පැවති ප්‍රමිතිය පහළ දැමීමක් සම්බන්ධ තොරතුරු අනාවරණය වෙමින්  පවතින පසුබිමකය. මෙතෙක් පැවති ක්‍රමවේදයට අනුව එක ඇසක දුර පෙනීම ශුන්‍ය පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර ලබාදීමේදී යම් යම් සීමා පනවා තිබුණත් මෑතකදී හඳුන්වා දී ඇති නව මාර්ගෝපදේශවලින් එම සීමා ඉවත් කර ඇති බව සඳහන් වේ. මෙතරම් හදිසි මාරක රිය අනතුරු බහුල සමයක රියැදුරු බලපත්‍ර ලබාදීමේදී එම  බලපත්‍රලාභියාගේ සෞඛ්‍ය තත්වය, විශේෂයෙන් ඇසේ පෙනීම සම්බන්ධව පවතින මාර්ගෝපදේශ වඩාත් දැඩි කළ යුතු අවස්ථාවක  ඒවා ලිහිල් කිරීම කාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක  වන්නේ ද යන්න බරපතළ ගැටලුවකි. මේ  සම්බන්ධව තීන්දු තීරණ ගන්නා ප්‍රධානීන් උපදෙස් ලබාගන්නේ ඒ සඳහා සුදුසුකම් සහ වෘත්තීමය පළපුරුද්දක් ඇති විශේෂඥයන්ගෙන් දැයි විමසිය යුතු වෙයි. එවැනි විශේෂඥයන්ගේ අවධානය ඇස් පෙනීමේ අඩුලුහුඬුකම් ඇති රියැදුරු බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් නිසැකවම යොමුවන බැවිනි.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව එක ඇසක දුර පෙනීම ශූන්‍ය පුද්ගලයන්ට  සැහැල්ලු වාහන බලපත්‍ර ලබාදීමේ දී මෙතෙක් පැවැති සීමා වශයෙන් තිබුණේ රියැදුරු බලපත්‍රය අයැදුම්කරු සතුව වාහනයක් තිබිය යුතු වීමත් එම වාහනයට අදාළව මෝටර් රථ ප්‍රවාහන  දෙපාර්තමේන්තුව මගින් නියම කරන  වෙනස්කම් සිදුකිරීමත්ය. එවැනි සීමා පනවා තිබුණේ එම රියැදුරු බලපත්‍රලාභියාගේ ආරක්ෂාවට පමණක් නොව සෙසු වාහනවලත් ඒවායේ ගමන් ගන්නා මගීන්ගේත් මහමග ගැවසෙන සෙසු මහජනතාවගේත් ආරක්ෂාව ද සැලකිල්ලට ගනිමිනි. එම සීමා මෙම මාර්ගෝපදේශවලින් ඉවත් කිරීම ඒ අනුව ප්‍රඥාගෝචර තීන්දුවක් නොවේ. ඒ බව වඩාත් හොඳින්  හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව තිබේ. මේ නිසා එවැනි වෙනස්කම්  සිදුකිරීමට  පෙර අඩු තරමින් ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හෝ විමසිය යුතුව තිබිණි.

මේ අතර එක ඇසක දුර පෙනීම ශුන්‍ය අයට යතුරුපැදිය ධාවනය සඳහා මෙතෙක් අවසර නොලැබීමේ සීමාව ද ඉවත් කර තිබේ. දැනට සිදුවන රිය අනතුරු මරණවලින් තුනෙන්  එකකට වගකිව යුතු වන්නේ යතුරුපැදි බැවින් අදාළ සීමාව ඉවත් කිරීම එම අනතුරුවලට තවත් අතවැනීමක් බව සඳහන් කළ යුතුය.

මෙම නව මාර්ගෝපදේශ සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය  මූලිකත්වය ගෙන තිබූ බවද සඳහන් වෙයි. එය එසේ නම් මේ රටේ වැඩිවෙමින්  පවතින මාරක රිය අනතුරු සංඛ්‍යාව රටේ කාටත් පිළිගත හැකි මට්ටමකට අඩු වූ අවස්ථාවක නම් මෙවැනි සීමා ඉවත් කිරීමේ යම් සාධාරණත්වයක් දැකිය හැක. එහෙත්  හද කම්පා කරවන යතුරුපැදි රිය අනතුරු බහුලව සිදුවන මේ වකවානුව එවැනි ආකාරයේ මාර්ගෝපදේශ වෙනසකට යායුතු  කාලයක් නොවන බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

(***)