දෙහිවල මංසන්ධියේ ගුවන් පාලම යට එක කෙළවරක සිදු වූ දරුණු බස් රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරකු මියගිය බව පසුගියදා ලංකාදීප පුවතකින් අනාවරණය විය. එම අනතුරට හේතු වී තිබුණේ, ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 සහ 155 දරන පෞද්ගලික බස් රථ දෙකක් අතර තරගයකට සිදුව තිබූ රිය ධාවනය බවත්, දිගටම රණ්ඩු වෙමින් පැමිණි එම බස් රථ දෙක එකිනෙකට ඉස්සර කිරීමට උත්සාහ දැරීමේදී ඒ දෙකට මැදි වූ ත්‍රිරෝද රථයක රියැදුරු ඒ තුළම මිය ගොස් සිටි බවත් සඳහන්ව තිබිණි.
මේ රිය අනතුර රට පුරා විවිධ ආකාරයට සිදු වන බරපතළ රිය අනතුරුවලින් එකක් පමණක් වුව ද, එය රටේ ජනතාවගේ ජීවිත මහමගදී කොතරම් අනාරක්ෂිත තත්වයකට ඇද දමා තිබේ දැයි පෙන්වා දෙන එක් උදාහරණයකි. රුපියල් ශත වෙනුවෙන් බස් මගීන්ගේ ජීවිත පරදුවට තබා මහාමාර්ගයේ බස් ධාවනය කෙරෙන එකම රට අපේ මේ ශ්‍රී ලංකාවම පමණක් විය යුතුය. එම මාරක බස් රිය ධාවනය බිලිගත් එකම තැනැත්තා ඉහත කී ත්‍රිරෝද රථ රියැදුරා පමණක් නොවන බවත්, තවත් ජීවිත ගණනාවක් ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවත් රහසක් නොවේ.
අඩුම තරමින් අනාගතයේදී හෝ බස් මගීන් සහ සෙසු පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. එය රථවාහන පොලිසියට පමණක් කළ හැකි රාජකාරියක් නොවේ. පෞද්ගලික බස් රථ අයිතිකරුවන්ට ද මේ සම්බන්ධ ලොකු වගකීමක් තිබේ. ඔවුන්ට එම වගකීමෙන් කර ඇර සිටීමට ඉඩක් දිය යුතු නැත.
මේ අතර, අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලීමක් කරමින් කතානායකවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි. වර්තමානයේ සිදු වන මාර්ග අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීමත්, ඔවුන් පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් ආබාධිත තත්වයට පත්වීමත් සම්බන්ධයේ කතානායකවරයාගේ අවධානය යොමු කරවන අමාත්‍යවරයා, එය පොදුවේ රට තුළත්, එසේම පවුල් සංස්ථාව තුළත් බරපතළ ගැටලු ඇති කරන බව ද පෙන්වා දී තිබේ. අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ, මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ අසාමාන්‍ය ලෙස මාර්ග අනතුරු ඉහළ යාම වළක්වා ගැනීම ජාතික වගකීමක් වශයෙන් සැලකිය යුතු බවය.
දෙහිවල මංසන්ධියේදී සිදු වූ අනතුර අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර, රියැදුරන්ගේ නොසැලකිල්ල, අනාරක්ෂිත වාහන ධාවනය මෙන්ම නීතියේ පවතින දුර්වලතා ද හොඳින් ඉස්මතු කර පෙන්වා දී තිබේ. බස් නැවැතුම්පොළවල සිටින මගීන් තමන්ගේ බස් රියට නංවා ගැනීම සඳහා කෙරෙන අපරික්ෂාකාරී නොසැලිකිමත් රිය ධාවනය අනතුරට ඇද දමන්නේ බස් රිය තුළ සිටින මගීන් පමණක් නොවේ. මහාමාර්ගය අසල පදික වේදිකාවලත්, මාර්ගයේ ධාවනය කෙරෙන සෙසු වාහනවලත් සිටින ජනතාව ද මේ හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දෙති. මෙවැනි රියැදුරන් අතින් සිදු කෙරෙන අනතුරුවලදී මිනිස් ජීවිත අහිමි වුවහොත්, එය මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි බරපතළ වරදක් බවට පත්කළ යුතු යැයි අපි අදහස් කරමු. එවැනි වැරැද්දකට දඩ ගැසීම හෝ මාස කිහිපයකට සිරදඬුවම් නියම කිරීම හෝ ප්‍රමාණවත් නැත.
ගෙවී ගිය 2023 වර්ෂය තුළදී සිදුව ඇති මාරක අනතුරු 2,200කින් මිනිස් ජීවිත 2,310ක් අහිමි වී ඇති බව පොලිස් සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දී තිබේ. ඒ අනුව, දිනපතා මිනිස් ජීවිත 6කට අධික සංඛ්‍යාවක් රිය අනතුරු හේතුවෙන් රටට අහිමිව තිබේ. මේ තත්වය මේ වසරේ ද වෙනසක් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැක. එය වෙනස් වීමට බරපතළ වැරැදි කරන රියැදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙත්, බොහොමයක් අවස්ථාවල අප දැක තිබෙන්නේ, දේශපාලන බලපෑම් හේතුවෙන් ඇතැම් බරපතළ වැරැදි කළ රියැදුරුන්ට එරෙහිව පවා නීතිය ලිහිල්ව ක්‍රියාත්මක කෙරෙන බවය. එම තත්වය නිවැරැදි කර නොගෙන තේරීම් කාරක සභා පත්කර කොතරම් වාර්තා ලබා ගත්තත් පලක් නොවනු ඇත.
(***)