ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් එක් දින මහා වැඩවර්ජනයක් 28 වැනිදා සංවිධානය කෙරිණි. ඊට පෙර ගුරු - විදුහල්පති එක් දින වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වූ අතර පාසල් පද්ධතියම එම දිනයේ අඩාල විය. වැඩ වර්ජන මෙතැනින් නවතින බවක් පෙනෙන්නේ නැත. ආණ්ඩුවද තම ධුර අත්හැරීමේ සූදානමක නොසිටින බව ඔවුන්ගේ කතාවලින්ද ක්‍රියාවෙන්ද පෙන්නුම් කර තිබේ. මේ හේතුවෙන් අද මුළු රටම හතරමං හන්දියක හිර වී සිටී. රටේ ජනතාව කිසි කලෙක නොතිබූ අමාරුවක වැටී සිටිති.
ආණ්ඩුවට එරෙහිව වැඩවර්ජන අවියෙන් පහර දෙන කණ්ඩායම් අතර ප්‍රබල වෘත්තීය සමිති ගණනාවක්ද, ගුරු - විදුහල්පති, වෛද්‍යවරු, වෘත්තීයවේදීහු සහ වෙනත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන නිලධාරීහුද වෙති. මේ සියලු දෙනා සටන් වදින්නේ රට ආර්ථික වශයෙන් කඩා වැටීමට වත්මන් ආණ්ඩුවේ තීන්දු තීරණ හේතු වූ බැවින් ඔවුන් ඉල්ලා අස්විය යුතු බවට වන සටන් පාඨය අතට ගනිමිනි. එම සටන් පාඨයේ වරදක් මේ අවස්ථාවේදී නොදැකිය හැකි වුවද මෙසේ බලපෑම් කරන ඇතැම් කණ්ඩායම් රටේ පාලනයට දිගු කරන ඇඟිල්ලම තමන් දෙසටද දිගු කළහොත් මැවෙන්නේ කනගාටුදායක චිත්‍රයක් බවද පෙන්වා දිය යුතුය.
ආණ්ඩුවත් පාර්ලිමේන්තුවේ 225ත් ගෙදර යා යුතු බවට මේ කණ්ඩායම් කරන අරගලයේදී ඔවුන් රටට පෙන්වා දෙන්නේ රට අද මුහුණ දී සිටින ඛේදවාචකයේ සැබෑ වැරදිකරුවන් වන්නේ ආණ්ඩුවේ මැති ඇමැතීන් පමණක් බවය. එය යථාර්ථය නොවන බව පෙන්වා දිය යුතුය. ආණ්ඩුවේ ඇතැම් ඔලමොට්ටල තීන්දු රට මේ තත්ත්වයට ඇද දැමීමට හේතු වූ බව සත්‍යයක් වුවද ඒවාට එරෙහිව සටන් කරන ඇතැම් පිරිස්ද මේ විනාශයට දායක වී ඇති බව පිළිගත යුතුය.
මේ රටේ බලයට පත් සෑම ආණ්ඩුවක්ම රටේ අධ්‍යාපනයට රුපියල් බිලියන ගණනින් වාර්ෂිකව වෙන් කරයි. යටිතල පහසුකම් හැකි පමණින් සපයා දෙයි. එහෙත් රටේ අධ්‍යාපනය භාරව සිටින ගුරුවරුන් - විදුහල්පතිවරුන් තමන්ගේ රාජකාරිය හරිහැටි ඉටු කරනවාද යන්න විමසීමේදී පෙනී යන්නේ එය එසේ නොවන බවය. සැබෑ කැපවීමකින් කටයුතු කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සිටියත්, වැඩි දෙනකු වැටෙන්නේ පාසලේ ඉගැන්වීම් කටයුතුවලට වඩා පෞද්ගලික පන්ති හරහා මුදල් ඉපැයීමේ කටයුතුවලට මුල් තැනක් දෙන පිරිසකගේ ගණයටය. පහේ පන්ති, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ට - ටියුෂන් සරණ යාමට සිදුව ඇත්තේ මේ හේතුවෙනි.
ජනප්‍රිය පාසල්වලට සිසුන් ගැනීමද බරපතළ විෂමාචාර සිදුවන අවස්ථාවකි. පාරට බැස ආණ්ඩුවට ඇඟිල්ලක් දිගු කරන විට තමන් දෙසට ඇඟිලි කිහිපයක්ම යොමුවන බව මේ පිරිස තේරුම් නොගන්නා තාක් කල් ආණ්ඩු මාරු කළ පමණින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිඳා බැස තිබෙන අකාර්යක්ෂම බව වෙනස් වන්නේ නැත. අල්ලස් ගන්නේ, දූෂිත වැඩ කරන්නේ, බලතල අනිසි ලෙස යොදවන්නේ, රාජකාරි පැහැර හරින්නේ, අකාර්යක්ෂමව කටයුතු කරන්නේ දේශපාලනඥයන් පමණක් නොවන බවට එය එක් උදාහරණයකි.
වෛද්‍ය ක්ෂේත්‍රයද වත්මන් පාලනයට එරෙහිව සටනට බැස සිටී. රජයේ රෝහල් පද්ධතිය තුළ පමණක් නොව පෞද්ගලික රෝහල් තුළ පවා අත්‍යාවශ්‍යම බෙහෙත් සහ ශල්‍ය උපකරණ පවා නැතිවන තත්ත්වයක් තුළ එවැනි සටනක් අසාධාරණ නැත. එහෙත් ආණ්ඩුව මාරු කළ පමණින් මේ ගැටලු විසඳෙන්නේ නැත. අද වෛද්‍ය ක්ෂේත්‍රය තුළද මාෆියා ගණයේ හම්බකර ගැනීම් ක්‍රියාත්මක වන බවත් ඒවාට වෛද්‍යවරුන් සහ තාක්ෂණික ශිල්පීන් පවා සම්බන්ධ බවත් ප්‍රකට රහසකි. එසේම තමන්ගේ සේවා කාලය තුළ ඉහළම කැපවීමකින් සේවය සිදු කරන බවට වෛද්‍යවරුන්ට හෝ තාක්ෂණික ශිල්පීන්ට හෝ සහතික විය හැකිද? මේ ගැටලු ආණ්ඩුව වෙනස් කළ පමණින් විසඳෙන්නේ නැත. දූෂිත දේශපාලනඥයන්ට වඩා තමන් වෙනස් බව පැහැදිලිව ඔප්පු කර පෙන්වීමට ඔවුන්ට හැකියාවක් තිබිය යුතුය.
නීතිඥවරුද ආණ්ඩුවට එරෙහිව පාරට බැස සිටිති. එය ඔවුන්ගේ අයිතියකි. එහෙත් ඔවුන් ආණ්ඩුව දූෂිත සහ අකාර්යක්ෂම බවට චෝදනා එල්ල කරන විට තමන්ගෙන් රටට ලැබිය යුතු ආදායම් බදු නිසි ලෙස ගෙවන්නේදැයි යන්න පිළිබඳව මුලින් සිතා බැලිය යුතු නොවේද? අඩුම තරමින් උසාවි තුළ ගොඩගැසෙන නඩු තදබදය අඩුකර ගැනීමට විවිධ ආණ්ඩු මගින් ගනු ලැබූ උත්සාහයන්ට අවංකවම තමන්ගේ දායකත්වය ලබා දුන් බවට නීතිඥවරුන්ට සහතික විය හැකිද? තමන්ගේ සේවාව ලබාගන්නා සේවාදායකයාට රිසිට් පතක් නිකුත් කිරීමට තරම්වත් උනන්දු වන නීතිඥවරුන් සිටින්නේ කී දෙනාද? මෙවැනි ගැටලු කොතරම් තිබුණත් රට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී ආණ්ඩුවට ගෙදර යා යුතු බවට කරන අරගලයට නීතිඥවරුන් සහාය දැක්වීමේ සාධාරණත්වයක් තිබෙන බවද පෙන්වා දිය යුතුය.
මේ රටේ වෘත්තීය සමිති සම්බන්ධයෙන්ද පැවසිය යුත්තේ මේ ටිකමය. රටට ගෙන එන සියලුම ආයෝජනවලට විරුද්ධ වීමත්, රාජ්‍ය ආයතන තුළ ඉහවහා යන දූෂණ සහ වංචාවලට එරෙහිව කටයුතු නොකිරීමත් එසේම සුදුසුකම් නැති තමන්ගේ සාමාජිකයන්ට තනතුරු ලබාදීමට ක්‍රියා කිරීමත් සම්බන්ධයෙන් මේ බොහොමයක් සමිති නම් දරා සිටී. ආයතනවල යහපැවැත්මට කිසිදු දායකත්වයක් නොදී තමන්ගේ කුට්ටිය වැඩිකර ගැනීමේ චේතනාවෙන් ක්‍රියා කරන වෘත්තීය සමිතිද ආණ්ඩුවට එරෙහිව ඇඟිල්ල දිගු කරන විට තමන් දෙසට ඇඟිලි ගණනාවක් එල්ලවෙන බවද ඒ අනුව කිව යුතුය. එහෙත් මේ තත්ත්වයෙන් බැහැරව සැබෑ ලෙසම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිද තිබෙන බවත් කිව යුතුය. ඒ සමිතිවලට අපි හිස නමා ආචාර කරමු.
ආණ්ඩුව ගෙදර යා යුතු බවට අවංක අරගලයක නිරතව සිටින නිර්පාක්ෂික ගෝල්ෆේස් සමූහය සමඟ එකට හිඳ සටන් කිරීමෙන් තමන්ගේ පව් සියල්ල සෝදා හැරිය හැකි යැයි සිතන කණ්ඩායම්වලට කිව යුතු වන්නේ එය අසාර්ථක උත්සාහයක් වනු ඇති බවය. ඒ සමඟ ආණ්ඩුවටද කිව යුත්තේ සැබෑ අරගලය තවදුරටත් උත්සන්න වී රට අරාජික වීමට ඉඩ තබනවාට වඩා ගෞරවාන්විත ලෙස ඉවත් වීමට තිබෙන අවස්ථාවෙන් අප්‍රමාදව ප්‍රයෝජන ගත යුතු බවය.
(***)