ජීවත් වීමට මුදල් අවශ්‍ය වෙයි. මිනිසා රැකියා කරන්නේත්, ව්‍යාපාර කරන්නේත් මුදල් ඉපැයීමටය. මුදලේ ස්වරූපය නම්, කෙතරම් ඉපැයුවත් එය ජීවත් වීමට ප්‍රමාණවත් නොවීමය. මිනිසාගේ අවශ්‍යතා අසීමිත වීම එයට එක් හේතුවකි. උද්ධමනය ඉහළ යාම ප්‍රධානම හේතුවය. එහෙත්, මිය යනතුරු ජීවත් වීම මිනිසාගේ අයිතියකි. වතු කම්කරුවාට ද එම අයිතිය එලෙසින්ම තිබේ.
වතු කම්කරුවා යන විශේෂ නාම පදයකින් හැඳින්වෙන මධ්‍යම කඳුකරයේ වතු ජනයා ජීවත් වන්නේ කිසි ලෙසකින් හෝ සුව පහසුවෙන් නොවන බව ඒකාන්ත සත්‍යයකි. ආරම්භයේ සිටම ඔවුන් ගත කරන්නේ දුක්ඛිත ජීවිතයකි. මිනිස් වාසයට හිතකර නොවන ‘ලයින් කාමර’ නමින් හැඳින්වෙන කූඩාරමක ජීවත් වන මෙම ජනයාගේ ප්‍රධානම ආහාර වේල එක්කෝ පාන්ය. නොමැති නම් රොටිය. තේ දල්ලෙන් එපිට ලෝකයක් දැකීමේ වරම අහිමි මෙම ජනයා මධ්‍යම කඳුකරයේ පස් යටම සැඟවී යති. ඇත්තම කාරණය නම්, ජීවිතය අහිමිව මෙසේ ජීවත් වීමේ අරුත කුමක් ද යන්නය.
වතුකරයේ ජනයාගේ ජීවිත ස්වභාවය එයට හිමි නිසි හරයෙන්ම විමසා බැලිය යුතුය. වතු කම්කරුවාට දෛනිකව ලැබෙන රුපියල් දහසෙන් මුළු දරු පවුලක්ම රක්ෂා කළ යුතුය. දෛනික වැටුප රුපියල් දහස වූයේත් ආසන්න මෑත කාලයේය. එය ද නොනැවතී කළ මහ සටන්වලින් පසුවය.
අති විශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් විය යුතු බව රජය ප්‍රකාශ කළේය. එම වැටුප ගෙවන ලෙස රජය වතු සමාගම්වලට නියම කළේය. වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 1,700ක් කිරීම කවර පැතිමානවලින් බැලුව ද ඉතා යහපත් තීන්දුවකි. උද්ධමනය ඉහළ ගොස් ඇති ප්‍රමාණය අනුව එය ප්‍රමාණවත් නොවේ යන්න ද මතු කළ හැකි තර්කයකි. එහෙත්, එම තීරණය පැසසුම් කටයුතුය. අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ, වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක වැටුපක් ලබා දෙන ලෙස රජය නියෝග කර තිබුණ ද මේ දක්වා කිසිදු වැවිලි සමාගමක් එම වැටුප කම්කරුවන්ට නොදෙන බවය.
ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ඔබේසේකර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, රජය නියම කර ඇති වතු කම්කරු දෛනික වැටුප කිසිසේත්ම දිය නොහැකි බවය. එමෙන්ම, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සහ වතුවල අනාගතය සම්බන්ධයෙන් සලකා බලා දෙපාර්ශ්වයටම යහපත් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව ද ඒ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
තේ වතු සමාගම් අධික ලාබ උපයන්නේ යැයි අපි නොකියමු. එම කර්මාන්තය උච්චාවචනය වන කර්මාන්තයකි. එනම්, ඉහළ යෑම් මෙන්ම පහළ බැසීම් ද ඇති කර්මාන්තයකි. එහෙත්, වතු කම්කරුවාට ජීවත් වීමට සරිලන වැටුපක් ලබා දීමේ වත්කමක් මෙම වතු සමාගම්වලට තිබේ. එම නිසා වතු කම්කරුවාගේ ජීවන අරගලය සම්බන්ධයෙන් මානුෂිකවාදී ඇසකින් බැලිය යුතු බව අපි අවධාරණය කරමු.
රජය අනුමත වැටුප පවා නොලැබෙන්නේ නම් වතු කම්කරු ජනයා පෙළන අසාධාරණය කොතරම් ද යන්න වටහා ගැනීම අසීරු නැත. ලක්ෂ 5කට 6කට වැඩි වතු කම්කරු ජනයාගේ ජීවිත දුක වතුකරයේ දේශපාලනඥයන්ට ඡන්ද පමණකි. වතු කම්කරුවාගේ ජීවිත සුඛිත මුදිත කරන බවට දස අතේ පොරොන්දු දී එම ජනයාගේ ඡන්දයෙන් දියවන්නාව තරණය කර එම ‘ඡන්ද කුට්ටිය’ පෙන්වා මැති ඇමැති ධුර ඩැහැ ගනිති. එහෙත්, වතු කම්කරු ජනයාගේ ජීවිතවලට කිසිදු වෙනසක් නැත.
රජයට අයත් ඇල්කඩුව වතු සමාගමේ වතු කම්කරුවන්ට රජය අනුමත කළ රුපියල් 1,700ක දෛනික වැටුප ලබා දුන්න ද දිගින් දිගටම එය එම සමාගමට කළ නොහැකි වනු ඇති බවත්, 2016 වසරේ සිට එම කම්කරුවන්ට සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් ගෙවා නැති බවත් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශකර තිබිණි. වතු ජනයාගේ දුක්ඛිත ඉරණම වටහා ගැනීමට එය වුව ද ප්‍රමාණවත්ය.
(***)