“පාලකයා යනු රටේ අයිතිකරුවා නොව රටේ බාරකරුවා බව” ඉතිහාසයේ සිටම හිස් මුදුනින් පිළිගන්නා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ජාතියට ම මුසු කළ උතුම් දහම් පණිවිඩයකි. එහෙත් වර්තමානය වනවිට එම උතුම් පණිවිඩ අරුත් සුන් බවට පත් කර තිබේ. ඒ දේශපාලකයන් විසින් ම ය.
දේශපාලකයා දැන් සිතන්නේ තමන් රටේ බාරකරුවා නොව පොල්මඃකාර උරුමක්කරුවා ලෙස ය. තමන්ට පමණක් තමන්ගෙන් පසු තමන්ගේ දූ දරුවන්ට ද මුණුබුරු මිණිබිරියන්ට ද උරුම විය යුතු පවුලේ බුදලයක් ලෙස ය.
අප පුවත්පත ඉකුත්දා වර්තා කළ ප්‍රවෘත්තියකින් ඒ බව මනාව සනාථ වේ. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ දේශපාලනඥයන් පිරිසක් සීගිරිය වන සංරක්ෂිතයේ වරින් වර පුද්ගලයන් බලෙන් පදිංචි කරවීමෙන් එම රක්ෂිතයට හානි සිදුවෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වූ බව ය.
සිංහල භාෂාවෙහි ‘‘නරුමයා’’ යනුවෙන් යොදන්නේ ‘‘යමක මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාට ය.’’ සීගිරිය වන සංරක්ෂිතයෙහි බලහත්කාරයෙන් මිනිස්සු පදිංචි කරවන්නේ එහි මිල දන්නා නිසා ය. සංරක්ෂිතයක විශේෂයෙන්ම සීගිරිය වන සංරක්ෂිතයෙහි වටිනාකම දන්නේ නම් එම සංරක්ෂිතය විනාශ වී යන ආකාරයට බලහත්කාරයෙන් මිනිසුන් පදිංචි කරවීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇත.
‘‘දේශපාලනඥයා ඊළඟ මැතිවරණය ඉලක්ක කරන්නේ නමුදු රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ඉලක්ක කර ගනී.’’ යන වාක්‍ය අපට අප රටේ දේශපාලනඥයන් හඳුනාගැනීමට කදිමට ගළපා ගත හැකි වාක්‍යයකි. අවාසනාවකට හෝ අප රටේ වැඩි වශයෙන් බිහිවී සිටින්නෝ රාජ්‍ය තාන්ත්‍රිකයන් නොව දේශපාලනඥයෝ ය. ඔවුන් සම්බන්ධයෙන් දුගඳ හමන මෙබඳු පුවත් වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබෙන්නේ එහෙයිනි.
මේ රටේ වන රක්ෂිත ප්‍රමාණය සියයට 29.5කි. එය ප්‍රමාණවත් නොවේ. එහෙයින්ම එය සියයට 32 දක්වා වැඩි කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස පරිසරය, ස්වාභාවිත සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය. තත්වය එසේ තිබිය දී දේශපාලනඥයෝ රක්ෂිතවල මිනිසුන් බලහත්කාරයෙන් පදිංචි කරවති.
දේශපාලනඥයාට වඩාත් වැදගත් වන්නේ මනාප විනා අන් යමක් නො වේ. ඒ වෙනුවෙන් ඕනෑම නොහොබිනාකමක් කිරීමට ඔවුහු පෙළඹෙති. උපන් බිමේ බිම් අඟලක් නොමැති පුරවැසි ජනයාට බිම් අඟලක් ලබාදීම කිසිසේත්ම වැරැදි නොවේ. එහෙත් ඒ සඳහා සුදුසු භූමි තෝරාගත යුතු ය.
යම් ප්‍රදේශයක් සංරක්ෂණ භූමියක් ලෙස ගැසට් කරනු ලබන්නේ විද්‍යාත්මක ක්‍රමවේදවලට යටත්වය. නොඑසේ නම් බොහෝ බැරෑරුම් පරිසර ප්‍රශ්න මතුවීම වැළැක්විය නොහැකි ය. එයට හොඳම උදාහරණය අලි-මිනිස් ගැටුම ය.
රටේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම නිර්මාණය වී තිබෙන්නේ අහේතුකව නොව සහේතුකව ය. ‘වන අලි ගම්වදිති’ යැයි කීවට සැබෑවටම සිදුවී තිබෙන්නේ මිනිසා අලින්ගේ වාස භූමි ජනාවාස බවට පත් කර ගැනීම ය. ඒ වෙනුවෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට මිනිසාට මෙන්ම අලියාට ද සිදුවී තිබේ.
වනගහණය, ජනගහනයේ පැවැත්මට අතිශයින්ම උපකාරි මෙන්ම අත්‍යවශ්‍ය වූවකි. එහෙත් මනාපය දෙස බලාගෙන සිටින නරුම දේශපාලනඥයෝ ඒ බවක් නොසිතති. එමෙන්ම නොදනිති.
කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත්තා සේ ම මෙම දේශපාලනඥයන්ගෙන් ද රට බේරාගත යුතු ය.
(***)