ඇඹිලිපිටිය නගරයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයක දිවා භෝජන සංග්‍රහයට ජීවී පණුවන් සහිත කුකුල් මස් ව්‍යංජනය තැබීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශාලා කළමනාකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අැඹිලිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගම මහත්මිය නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර ඉදිරියෙන් වෙයි. කුමක් තිබුණද ආහාර නොමැතිනම් පැවැත්ම සරි නොවේ. ආහාර යනු මොනවා හෝ කෑමක් ද නොවේ. එම ආහාරය හරහා මිනිසාට ආයුෂ, මරණය, සැපය, බලය හා ප්‍රඥාව ලැබිය යුතුය. ඒ පංච බලය නොලැබෙන ආහාරයකින් වැඩක් නැත. ජීවී පණුවන් දමා එම පංච බලය ඇති කළ හැකි නොවේ.
‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන් ‘සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති’ යැයි බුදුපියාණෝ දේශනා කළහ. ආහාරය අවශ්‍ය වන්නේ ජීවත් වීමටය. එහෙත් ඇතැම් අමනුෂ්‍යයෝ ආහාර වෙනුවෙන් ජීවත් වෙති. එබඳු ගෙවල යක්කු සිටිති. ජීවී පණුවන් සහිත කුකුළු මස් ව්‍යංජනයක් මංගල උත්සවයකට පැමිණි ආරාධිතයන්ට පිළිගැන්වූ ඇඹිලිපිටියේ උත්සව ශාලා කළමනාකරු එබඳු ගෙවල යකෙකු යැයි කවුරු හෝ කිව්වොත් එය අසාධාරණ ද? තීරණය පාඨක ඔබට බාර කරමු.
මංගල උත්සවයට පැමිණ සිටි වෛද්‍යවරයකු මස් කැබැල්ලක ජීවී පණුවන් සිටින බව දැක ඇඹිලිපිටිය නගරසභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක හර්ෂ අබේසිංහ මහතාට පැමිණිලි කර ඇත. වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව්‍යංජන භාජනය තමා බාරයට ගෙන උත්සව ශාලා කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
මස් වෙනම තම්බා බැද තැටිවල අසුරා ශීතකරණයක තබා වෙනම සැකසූ හොද්දකට එම මස් කැබලි එක් කරන බව සෞඛ්‍ය බලධාරීන්ගේ විමර්ශනයේදී අනාවරණය වූ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
විවිධ හේතු මත මංගල උත්සව සහ වෙනත් උත්සව හෝටල්වල, උත්සව ශාලාවල පැවැත්වීමට බොහෝ දෙනෙක් යොමුවී සිටිති. මෙම තත්ත්වය වර්තමානය වනවිට සංස්කෘතික අංගයක් තරමට වර්ධනය වී තිබේ. විශාල වශයෙන් මුදල් වැය කළ ද උත්සව අවස්ථාවට සරිලන සේ ඉතා පිරිසිදුවත් රසවත් හා ගුණවත් ලෙසත් ආහාරපාන සපයනු ඇති බවට ජනයා තරයේ විශ්වාස කරති. ඇඹිලිපිටිය සිද්ධිය එම විශ්වාසය කඩාබිඳ දමන්නකි.
නගරයක පෙට්ටි කඩයේ සිට මහා පරිමාණ හෝටල් සංකීර්ණ දක්වා අපිරිසිදු ආහාර පාන විකිණීම සිදු කරන බවට චෝදනා නැඟී තිබේ. මිලදී ගත් වඩේ එකක බෙහෙත් ප්ලාස්ටරයක් හමුවීමේ සිද්ධිය කොළඹින් වාර්තා වූයේ මෙයට හත් අට මාසයකට ඉහතදීය. ඇතැම් හෝටවල්වල මුළුතැන්ගෙය හෙවත් කුස්සිය මිහිපිට අපායක් බඳුය. හෝටලයේ වැසිකිළියේ ඇති පයිප්පයෙන්ම මස්, මාංශ, එළවළු හෝදන හෝටල් තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වූයේ එකක් පසුපස එකක් වශයෙනි. නිල මැස්සන්ගේ රජදහන් බවට පත්ව ඇති කුස්සියේ පිසූ ආහාර වර්ග ෙහා්ටලයේ ඉදිරිපසට රැගෙන ගිය පසු පාරිභෝගිකයාට ඒ බවක් නොදැනේ.
පසුගිය සමයේ වාර්තා වූ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ එක් හෝටලයක සීනි ගබඩා කර තිබුණේ වැසිකිළියේ ඉඩ තිබූ තැනක බවය. එබඳු වෙළඳුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රවෘත්ති මාධ්‍ය කොතෙක් වාර්තා කළ ද වැරැදි කරන්නන් නිවැරැදි වන බවක් ද නොපෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ හඳුනා නොගත් රෝගවලින් මිය යන පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවය. ජීවී පණුවන් සහිත ආහාර ගත්විට වැළඳිය හැකි රෝගය කුමක්ද යන්න හඳුනාගැනීමට නොහැකි වීම බලාපොරොත්තු විය යුත්තකි.
මෙබඳු අමන වැඩ කරන්නන්ට ප්‍රධාන වී තිබෙන්නේ මුදල් ය. මුදල් ඉපැයීමට ඔවුහු ඕනෑම අපරාධයක් කරති. අනෙකාට හෙණ ගැහුවත් මට මොකදැයි ඔවුහු සිතති. ඒ ආත්මාර්ථකාමීත්වයේත් ධන තණ්හාවේත් පත්ලටම වැටුණු අමනයකුට වැසිකිළියේ සීනි ගබඩා කළ හැකිය. වැසිකිළියේ වතුර පයිප්පයෙන් එළවළු හා මස් මාළු සේදිය හැකිය. ජීවී පණුවන් සහිත කුකුළු මස් කෑම අමුත්තන්ට ලබාදිය හැකිය.
මෙම තත්ත්වය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුත්තේ මෙයින් රෝගී වන්නේ මුළු මහත් ජාතියම බවය. රෝගී ශ්‍රී ලංකාවක් අනාගතයේදී නිර්මාණය වීම වැළැක්වීමට නම් පුරවැසියන් මෙන්ම අදාළ බලධාරීන් මීටත් වඩා කාර්යක්ෂම විය යුතුය. විමසුම් සහගත විය යුතුය.