ශබ්ද දූෂණයට තුඩු දෙන අධික ශබ්දයක් නිකුත් කරන නළා සවි කරන ලද වාහන වහාම අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
ලෝකය දියුණු හා නොදියුණු යනුවෙන් දෙකොටසකට බෙදේ. එසේ බෙදෙන්නේ භෞතික දියුණුව මත පදනම්ව පමණක්ම නොවේ. ඒක පුද්ගල ආදායම් වාර්තා මත පදනම්ව පමණක්ම නොවේ. ළදරු මරණ අනුපාතය පහළ බැසීම වැනි වාර්තා හෝ යටිතල පහසුකම් වර්ධනය වී ඇති ආකාරය මත පදනම්ව පමණක්ම නොවේ. ලෝකය දියුණු හා නොදියුණු වශයෙන් දෙකොටසකට බෙදීමේදී මානව චර්යා ද ප්‍රධාන සාධකයකි. ඒ මානව චර්යා ඇගයීමේදී මාර්ග විනයට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. රටක ඇත්ත අභ්‍යන්තරය මහ පාරේදී ප්‍රදර්ශනය වන්නේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
ජනාධිපතිවරයාගේ උපදේශය වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි.
‘‘පිට රටවල වාහනවල හෝන් ගහන්නේ නෑ’’ මේ සමාජයේ ප්‍රචලිත මතයකි. දියුණු බොහෝ රටවල වාහනයක නළාව හැඬවීම ‘‘කළුනික’’ බඳුය. නළාව හැඬවීම ඉතා පහත් ක්‍රියාවක් ලෙස දියුණු රටවල සලකනු ලැබේ. එයට හේතුව මාර්ග සංඥාවලට අවනතව හා මාර්ග නීතිවලට අනුකූලව සියල්ලන් කටයුතු කිරීමය.
ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. ඇතැම් රියැදුරන් වාහනය ධාවනය කරනු ලබන්නේ නළාවෙන් පමණි යැයි හැඟෙන තරම්ය. එම නළා අධික ශබ්දයෙන් යුක්තය. විවිධ නාද රටාවලින් යුක්තය. කන් බිහිරි කරවන සුළුය. ශබ්ද දූෂණය ගැන සැකයක් ඇති කරගත යුතු නැත.
ඉතාම හදිසි අවශ්‍යතාවකදී නළාව හැඬවීම එකකි. තමන්ගේ කඩප්පුලිකම, නැහැදිච්චකම ප්‍රදර්ශනය කිරීමට, තම මදාවිකම පෙන්වීමට නළාව හැඬවීම වෙනම එකකි. බොහෝ විට සිදුවන්නේ පළමු අවශ්‍යතාව වෙනුවට දෙවැනුවට කී කාරණාවලට නළාව හැඬවීමය. දුර ගමන් සේවා බස් රථවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබේ.
නීතියට අනුව ඩෙසිබල් 105ට වැඩි ශබ්ද තරංග නිකුත් කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. ඩෙසිබල් 105ට වැඩි ශබ්ද තරංග නිකුත් කරන නළා හැඬවීමෙන් ශබ්ද දූෂණය වීම එයට හේතුවය. එම තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට ඍජුවම බලපායි. නිරෝගී පුරවැසියන් අපේක්ෂා කරන්නේ නම් ඔවුන් රෝගීන් බවට පත් කෙරෙන සියලු මාර්ග වසා දැමිය යුතුය.
ලංකාවේ නිරෝගී පුරවැසියන් බිහිකිරීමට අවශ්‍ය බොහෝ නීති සම්පාදනය වී තිබේ. නළා නීතිය ද එසේමය. එහෙත් ප්රශ්නය වන්නේ නීතිය ක්‍රියාත්මක නොවීමය. එක් අතකින් එම නීතිය පිළිබඳව බොහෝ රියැදුරන් දැනුම්වත් ද යන ප්රශ්නය පැන නඟී. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව අවධාරණය විය යුතුය. අනෙක් කාරණය වන්නේ නීතිය නොතැකීමය. එය ගණන් නොගැනීමය. නීතියට වඩා තමන් බලවත් යැයි සිතීමය. එය බරපතළ වරදකි. පොලිසිය වුවත් ඉරි කැපීම, වමෙන් ඉස්සර කිරීම, සුදු ඉර මතදී ඉස්සර කිරීම වැනි පෙනෙන වැරැදි සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අධික ශබ්ද සහිත නළා හැඬවීමේ වරද වෙනුවෙන් අනුගමනය කරන බවක් පෙනෙන්නේ නැත.
ජනාධිපතිවරයා දුන් උපදේශය වඩාත් වැදගත් වන්නේ ද ඒ අර්ථයෙනි.
අධික ශබ්ද සහිත නළා හැඬවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පොලිසිය හා ආරක්ෂක අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පැවැති බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලු පොලිස් ස්ථානවලට නිකුත් කිරීමටත් මගීන්, බස් රියැදුරන්, පාසල් සිසුන් සම්බන්ධ කරගනිමින් ජාතික මට්ටමින් නිශ්ශබ්දතා දිනයක් ප්‍රකාශ කිරීමට තීරණය කළ බවත් අප පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
සැබැවින්ම මෙවැනි ප්‍රාථමික කාරණා රටක් දියුණු නම් සාකච්ඡාවට බඳුන් වන්නේ නැත. එහෙත් මහ පාරේ ප්‍රාථමික නීතියක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවීමෙන් පැහැදිලි වන එක් කාරණයක් වන්නේ අප රට කියන තරම් දියුණු නැති බවය. මාර්ග විනය සම්බන්ධයෙන් අප රටේ ජනයා දක්වන ආකල්පය වුවද එයට කදිම සාක්ෂියකි.
ඉහත තීරණයට එරෙහිව ඇතැම් විට බස් සංගම් විරෝධය දක්වනු ඇත. සමස්ත මහා බස් වර්ජන ප්‍රකාශයට පත් කරනු ඇත. නැතහොත් මෙම තීරණයට කොන්දේසි විරහිතව සහාය පළ කරනු ඇත. සිදුවන්නේ කුමක් ද යන්නෙන් අප රට දියුණු ද නැද්ද යන්න විනිශ්චය කෙරෙනු ඇත.