වැට් බදු වැඩි කිරීමෙන් තැළෙන පොඩි මිනිසා


2024 වසර උදාවීමටත් පෙර සිටම මෙම වසර සම්බන්ධයෙන් භීතිය උපදවනසුළු ප්‍රකාශ නිකුත් විය. විශේෂයෙන්ම වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීම හේතුවෙන් තේ කෝප්පයේ සිට සෑම දෙයකම මිල ඉහළ යනු ඇති බවට පුරෝකථන එම භීතිය උපදවනසුළු ප්‍රකාශවල අන්තර්ගත විය. මෙම භීතිය යථාර්ථයක් බවට පත්කරවන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

‘අමු මිරිස් කරලක් රුපියල් 15යි’ යන සිරස්තලය යටතේ පළවූ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ දඹුල්ල නගරයේ සිල්ලර එළවළු වෙළෙඳපොළේ අමු මිරිස් කරලක් ඉකුත් 29 වැනිදා රුපියල් 15කට අලෙවි වූ බව පාරිභෝගිකයන් පවසන බවය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රුපියල් 1300ත් 1500ත් අතර තොග මිලට අලෙවිවන බවත්, සිල්ලර වෙළෙඳපොළේ අමු මිරිස් කිලෝව රුපියල් 1800ක පමණ මිලකට අලෙවි වන බවත් පාරිභෝගිකයන් පවසන බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් විය.

අප ප්‍රවෘත්තිය පවසන්නේ අමු මිරිස් ග්‍රෑම් 100කට මිරිස් කරල් 12ක් පමණ ඇතුළත් වන බවත්, ඒ අනුව අමු මිරිස් කරලක මිල රුපියල් 15ක් වන බවත්ය.

‘මිරිස් ඇඹරීම’ යනු ඈත සමාජයේ සතුරන්ට දඬුවම් ලබාදීම පිණිස කළ ක්‍රියාවකි. මිරිස් මිල ඉහළ ගොස් ඇති ආකාරය දෙස බලන විට රටට මේ හෙණය ඇතිකළ උන්නැහැලාට එරෙහිව මිරිස් ඇඹරීම කළ නොහැකිය. පොල් ගෙඩියක මිල අනුව පොල් ගැසීම ද කළ නොහැකිය. ඒ අනුව හැමදාමත් කරල පැසී ඇත්තේත්, පැසෙන්නේත් ඔවුන්ගේමය. ජනතාවට වගතුවක් නැත.

අමු මිරිස් කරලක් රුපියල් 15ට මිලදී ගෙන කෑමට මුසු කර ගැනීමේ වත්කමක් රටේ පුරවැසියන්ගෙන් කීයෙක් කී දෙනෙකුට වේ දැයි විමසිය යුතු තරම්ය. අප රට කෘෂිකාර්මික රටක් යැයි වාගාඩම්බරයෙන් ප්‍රකාශ කළ ද අමු මිරිස් කරලක් රුපියල් 15කි. මෙම සටහන් ඔබ කියවන මොහොත වන විට මෙම මිල පහළ බැස තිබෙන්නට හැකිය. එහෙත් රටේ හැටියට නම් ඒ මිල තවත් ඉහළ ගොස් තිබිය හැකිය.

ලෝක ආහාර වැඩසටහන කළ නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින මෙරට පවුල්වලින් සියයට 14ක මව්පියන් සිය දරුවන්ට ප්‍රමාණවත් ආහාර වේලක් ලබාදීම සඳහා තමන්ගේ ආහාර ප්‍රමාණය සීමා කර ඇති බවය.

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් දෙකක්ම උපයන ආදායමෙන් සියයට 75ක් ආහාර සඳහා වියදම් කරන බවත්, ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 24ක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත තත්ත්වයෙන් පෙළෙන බවත් එම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. එමෙන්ම සෑම පවුල් 10කින් පවුල් 4ක් දිවි ගැට ගසා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත්, එලෙස ක්‍රියාමාර්ග ගත් පවුල්වලින් සියයට 57ක් තමන් කැමැති ආහාර ගැනීමෙන් වැළකී හෝ මිලෙන් අඩු ආහාර ගැනීමට පෙළැඹී ඇති බවත්, සියයට 27ක් ආහාර වේලේ ප්‍රමාණය අඩු කර ඇති බවත් එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

රටේ ඇති තතු ඇති ආකාරයෙන්ම එම වාර්තාවෙන් දක්වා තිබෙන්නේ එසේය. අප රටට නිරෝගි හා ශක්තිමත් මානව සමාජයක් ඉදිරියේදී හමු නොවනු ඇත. ඒ වෙනුවට දර ඉපල් බඳු කෙසඟ හා දුබල සහ රෝගී මානව සමාජයක් හමුවනු ඇත.

රට ඉදිරිපිට තිබෙන්නේ ආර්ථික අර්බුදයක් පමණක් නොව එයින් ජනිත අතුරු අර්බුද රැසකි. අවධානය යොමු කළ යුත්තේ එම අතුරු අර්බුද කෙරෙහිය. නොඑසේ නම් දැවැන්ත අර්බුද පොකුරකට මුළු රටම යටත් වනු ඇත.

(***)