ත්‍රිකුණාමලය, කින්නියා, කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා කණ්ඩායමකට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදීම නිසා නාවික භටයන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අනවසර වැලිගොඩ දමන්නන් වැටලීමට නාවික භටයන් ගිය අවස්ථාවේ තිදෙනකු මහවැලි ගඟට පැන ඇති අතර ඉන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගත් බවත් තවත් පුද්ගලයකු පීනා ගොඩට ආ බවත් සඳහන් විය.
පිට පළාත්වලින් පොලිස් බළ ඇණි ගෙන්වා තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.
සිද්ධියෙන් පුද්ගලයෝ දෙදෙනක් මිය ගොස් ඇත්තාහ. නාවික සෙබළු 12 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. ඒ සියල්ල සම්බන්ධයෙන් ලංකාදීපයේ සාතිශය සංවේගය පළමුව පුද කරමු.
අනවසර වැලිගොඩදැමීම බරපතළ ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබේ. ගංගා පතුල් හාරා වැලි ගොඩදමා විකිණීමේ ජාවාරම රටපුරා ජයටම සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් පාලකයන්ගේ ද දැඩි අවධානය යොමු වී ඇති බව ඔවුන් වරින්වර කරන ප්‍රකාශවලින් ද පැහැදිලි වේ. එයට අමතරව පරිසර සංරක්ෂණයට අදාළ නීතිරීති ද වරින්වර පැන වේ. එහෙත් වැලි ගොඩදැමීම පාලනය කිරීමට තවමත් හැකියාවක් නැත.
මහවැලි ගඟේ වැලි ගොඩදමමින් සිටියදී නාවික හමුදාව එනු දැක බියට පත්ව මහවැලි ගඟට පැනීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ දෙදෙනාගේ ජීවිත මේ වැලි ජාවාරමේ අංශු පමණි. ඇතැම්විට ඔවුන් දෛනික කුලීකරුවන් විය හැකිය. එහෙත් අවසානයේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී තිබෙන්නේ ඔවුන්ටය. මහා ජාවාරම්කරුවෝ නිදැල්ලේ පසුවෙති.
අනවසරයෙන් වැලි ගොඩදැමීම වැනි ව්‍යාපෘතියක් හොර රහසේ කළ නොහැකිය. එය කළ යුතු වන්නේ විවෘතවය. සාමාන්‍ය මිනිසකුට එවැනි ජාවාරමක් කිරීමට ශක්තියක් නැත. මෙබඳු ජාවාරම් කළ හැකි වන්නේ එබඳු ජාවාරමක් කරනවිට එළැඹිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඇති ප්‍රබලයන්ට පමණි. එබඳු ශක්තියක් ගොඩනඟාගත හැකිවන්නේ දේශපාලනයෙනි. එසේනම් මෙම ජාවාරම් පිටුපස සිටින්නේ දේශපාලනඥයන් විය යුතුය. නොඑසේ නම් දේශපාලනඥයන්ගේ ආශිර්වාදය හා රැකවරණය ලබන්නන් විය යුතුය.
අනවසරයෙන් වැලි ගොඩදැමීම වැනි ජාවාරම් මැඬලීම අසීරු වී තිබෙන්නේ මෙම “දේශපාලන අදිසි හස්ත” නිසාය. කිනම් හෝ ක්‍රමයකින් ආරක්ෂාව සලසාගෙන තම ජාවාරම ජයටම කරගෙන යාමට ඔවුහු සමත් වෙති. මෙම ජාවාරම නිසා පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් ඔවුහු අවධානය යොමු නොකරති. ගං ඉවුරු කැඩී බිඳී ගොස් ගඟේ වතුර ගමට ගලා ඒමෙන් සිදුවන හානිය ඔවුහු නොතකති. ඉකුත් සමයේ කැලණි මිටියාවතේදීත් ආසන්න මෑත සමයේ දී උතුරේදීත් අත්විඳි සත්‍යය එයමය. එහෙයින්ම මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට මරණ දඬුවම ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන්නා සේම අනවසර වැලි ගොඩ දමන ජාවාරමට ද එරෙහිව පැනවිය යුතු දඬුවම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.
කින්නියාවේ දී ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීන් අතර ගැටුමක් ඇවිළී ගියේය. මාධ්‍ය වාර්තාවලට අනුව ආරක්ෂක අංශ ඉතා බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කර තිබේ. නැතහොත් තවත් කටුනායකක් හෝ රතුපස්වලක් ඉතිහාසයට එක්වීමට ඉඩ තිබිණි. සාමාන්‍ය ජනයා ද කල්පනා කළ යුතු වන්නේ ඕනෑම අවස්ථාවකදී නීතියට ඉඩ දී කටයුතු කිරීම සම්බන්ධයෙනි. නීතිය අතට ගෙන කටයුතු කිරීමට පෙළඹුණහොත් බරපතළ ප්‍රශ්න නිර්මාණය වන බවට උදාහරණ ඕනෑ තරම් තිබේ.
මෙබඳු අවස්ථාවක දී සාමාන්‍ය ජනයා කුපිත කරවා ඔවුන් ආවේගශීලීව හැසිරවීමට සංවිධානාත්මක පිරිස් සිටිති. ඔවුහු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු නොව රංචුවක්ම බා ගැනීමට උත්සාහ කරති. එහෙත් අවසානයේ වන්දි ගෙවීමට සිදුවන්නේත් විඳවීමට සිදුවන්නේත් සාමාන්‍ය මිනිසාටමය. එහෙයින් ජාවාරම්කරුවන්ගේ උගුල්වල නොවැටී කටයුතු කිරීමේ ප්‍රඥාව සාමාන්‍ය ජනයා පහළ කරගත යුතුය. එසේ නොවන්නේ නම් ‘වෙච්ච දේට වඩා කරගත්ත දේ ලොකුයි’ කියා කීමට සිදුවීම වැළැක්විය නොහැකිය.