විදුලිය විසන්ධි කිරීමට නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුද?


රුපියල් දහතුන් දහසක විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව නිවෙසේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් පුතාට හා දියණියට පාඩම් කිරීමට අසල්වැසි නිවෙසකින් විදුලිය රැහැනක් ඇද ගැනීමට උත්සාහ කළ බව කියන දෙදරු පියකු විදුලිය සැර වැදීමෙන් මියගොස් ඇතැයි පුපුරැස්ස පොලිසිය පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙසේ මියගොස් ඇත්තේ ගලහ පුපුරැස්ස ලෙවලන් වත්තේ කෝල්ග්‍රීන් ප්‍රදේශයේ පදිංචිව සිටි අල්ගන් ගනේෂන් නැමති 38 හැවිරිදි දෙදරු පියකු බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

දුප්පත්කම කෙතරම් නපුරුදැයි තේරුම් ගැනීමට මීටත් වඩා උදාහරණ ඇවැසි නැත. මෙරට සාතිශය බහුතරයක් ජනයාට ආර්ථික අර්බුදය නැමැති යක්ෂයා සමග පොර බැදීමට සිදුව ඇති අතර අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ එම යක්ෂයා හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

‘දුප්පත්වී ඉපදීම අපගේ වරදක් නොවුවද අප මිය යන්නෙත් දුප්පතකුම ලෙස නම් එය අපගේ වරදකි’ යන්න ප්‍රසිද්ධ කියමනකි. කතාව සත්‍යයකි. දුප්පත්කම තුරන් කිරීමට නම් ඒ සඳහා අවස්ථා තිබිය යුතුය. එහෙත් වර්තමානයේ සිදුවී තිබෙන්නේ එම අවස්ථා ඇහිරි තිබීමය. සමාජයේ විශාල පිරිසකගේ ආදායම් මාර්ග මුළුමනින්ම වාගේ ඇහිරී ඇත. තවත් විශාල පිරිසකගේ ආදායම් මාර්ගවල වර්ධනයක් නැත. ඒ කොවිඩ් මාරක වසංගතය සමය ඇරැඹු යුගයත් සමගය. එහෙත් ආදායම් අහිමි වුවද ආදායම් වර්ධනය නොවුවද වියදම් හත් අට ගුණයකින් වැඩිවී ඇත. මෙම පරිසරය තුළ සාමාන්‍ය ජනයා කල දවස ගෙවා දමන්නේ කෙසේ දැයි සොයා බැලීමට ද අයකු නැත.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපතිවරයාට වැරැදි තොරතුරු ලබාදීම නිසා ජනතාවට සහන සැලසීමට නොහැකි වී ඇති බව රජයේ පාර්ශ්වයෙන්ම කියැවේ. ජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කරන හෘද සාක්ෂිය නැති වගකීම් විරහිත නිලධාරීන්ට ලැබෙන දඬුවම් මොනවාද යන්න සම්බන්ධයෙන් ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය. මන්දයත් ජනයා මෙතරම් නරාදුක් විඳින්නේ  ඔවුන් කළ වැරැදි නොවන නිසා බව ඒකාන්ත සත්‍යයක් වන නිසාය.

සිය පුතුට හා දියණියට පාඩම් කිරීමට අසල්වැසි නිවෙසකින් විදුලි රැහැනක් ඇද ගැනීමට උත්සාහ කළ බව කියන දෙදරු පියාගේ බිරිඳ එනම් දරු දෙදෙනාගේ අම්මා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් විදේශ ගෘහ සේවයට මීට සති තුනකට පමණ පෙර ගොස් ඇතැයි ද ඇය ගුවන්  තොටුපොළට ඇරළවා ඥාති නිවෙසක දරු දෙදෙනාද සමග නැවතී පෙරළා සිය නිවෙසට පැමිණි අවස්ථාවේ දී පියා එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇතැයි ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

විදුලිය පරිභෝජනය කළේ නම් එයට ගෙවිය යුතු මිල ගෙවිය යුතුය. එම මිල නොගෙවන්නේ නම් ඊළඟ පියවර විදුලිය විසන්ධි කිරීමය. මෙහිදී අවධානය යොමු කළ යුතු කාරණාවක් තිබේ. එනම් විදුලිය බිල සාධාරණ ද යන්නය. ජනයාගේ මිලදී ගැනීමේ හැකියාව මොට්ට කර තිබියදී  රාජ්‍ය ආදායම ඉහළ නංවන හැඟීම පිණිස මිල ඉහළ නැංවීම සාධාරණ නැත. එසේ යැයි  කියා අනවසරයෙන් විදුලිය ගැනීම ද බරපතළ වරදකි. එය වරදක්  බව  නොදත් අයකු සිටිය නොහැක. එහෙත් නිර්මාණය වී ඇති ශාපලත් පරිසරය තුළ දැන දැන වැරැදි කිරීමට යමකු පෙළඹීමේ ස්වභාවයක්ද ඇතිවේ.

‘නීතිය යනු ශීලයක් නොවේ’ යන්න බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක් වූ කියමනකි. ශීලය, දිවි හිමියෙන් රැකිය යුතුය. නීතිය දෙස මනුෂ්‍යත්වයෙන්ද සානුකම්පිතවද බැලිය යුතුය. කෙවිට අතට ගෙන වැඩ කඩුලු පනින නිලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත.

(***)