ටයර් දමා පිළිස්සීම හේතුවෙන් විනාශ වූ බගවන්තලාව නගරයේ මාර්ග කොටසක් නගර සභා සේවකයකු ඉවත් කරන අයුරු අප පුවත්පත ඊයේ වාර්තා කර තිබුණේ සේයාරුවක්ද සමගිනි. ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන හිඟයට විරෝධය පා රටේ පළාත් 8ක ප්‍රධාන මාර්ග අවුරා විරෝධතා දැක්වූයේ ඉකුත් 20 වැනිදාය. ගස් කපා පාරවල්වලට දමා ටයර් පුළුස්සා, එම විරෝධතා පැවැති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එම විරෝධතාවේදී ස්ථාන දෙකකදී බස් රථ දෙකකටද පහර දී තිබිණි.
හේතුවකින් තොරව ඵලයක් හට නොගනී. ඒ අනුව ජන විරෝධතාවලට හේතුවක් තිබේ. අද රටේ ජනතාවට ජීවිතය අහිමි වී ඇත. එක පැත්තකින් විදුලිය කප්පාදුවකි. තවත් පැත්තකින් ඉන්ධන හිඟයකි. එමෙන්ම ගෑස් හිඟයකි. හිතූ හිතූ මිලට වෙළෙන්දෝ බඩු විකුණති. මෙම පරිසරය තුළ ජන ජීවිතය බරපතළ අර්බුදයකට ලක්වී තිබේ. ආදායම ඉහළ නොගියද වියදම හතර පස් ගුණයකින් ඉහළ ගොස් තිබේ. විරෝධය පෑම හැර වෙනත් විකල්පයක් ජනතාවට නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ජනාධිපතිවරයා යළිත් වරක් ඇමති කුට්ටම අනා තිබේ. අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ එමගින් යැයි සිතන සෙයකි. ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන බව පාර්ලිමේන්තුවෙන් ඇසේ. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධනයකට අදාළ කෙටුම්පතක් සමගි ජනබලවේගය කතානායකවරයාට බාර දුන් බවටද ප්‍රවෘත්ති පළවිය. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම ඇත්තේ එතැන යැයි විපක්ෂය සිතන සෙයකි. මෙම පරිසරය තුළ ජන අරගල තව තවත් උණුසුම්වීම වැළැක්විය නොහැක.
අවධාරණය කළ යුතු වඩාත් වැදගත් කාරණාවක් තිබේ. එනම් බොර දියේ මාළු බාන්නන් සිටින බවය. ජනයාගේ සාධාරණ පොදු අරමුණ පෙරටු කරගත් සටන් බිම තමන්ගේ පටු හා පවිටු අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සාහ දරන පිරිස් සිටින බවය. ඔවුන් ජන සමාජ මහා විනාශකාරී අන්තයක් කරා රැගෙන යාමට උත්සාහ දරනු ඇත.
රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් ගැඹුරු හඳුනා ගැනීමක් කළ යුතුය. රඹුක්කන මාර්ග අවුරා උද්ඝෝෂණය කරමින් සිටියෝද ජනතාව වෙති. පොලිසිය පවසන්නේ එතැනට පැමිණි ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට කිසියම් සූදානමක් තිබූ බවය. ‘‘තත්ත්වය පාලනය කිරීමට පොලිසිය අවම බලය පාවිච්චි කළ බව පොලිස්පතිවරයා මාධ්‍යයට කියා තිබිණි. එහෙත් එම සිදුවීමෙන් එක් පුරවැසියෙක් මිය ගියේය. අවසානයේදී සිදු වූයේ අහිංසක දරුවන් දෙදෙනකුට පියා අහිමි වීමයි. බිරිඳකට සෙනෙහෙබර සැමියා අහිමිවීමය. ඒ පවුලට දැන් කඳුළුවල බර තනියම දරා ගැනීමට සිදුවනු ඇත.
ජන විරෝධයට මුවාවී රට ලේ වගුරක් කරා රැගෙන යාමට සංවිධානය වූ පිරිස් සිටිය හැකි බව උපකල්පනයක් පමණක් නොවේ. සමාජ ක්‍රියාකාරිණියක වන සන්ධ්‍යා සල්ගාදු මහත්මිය සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ පානදුර ප්‍රදේශයේ පැවැත්වුණේ දේශපාලනික කණ්ඩායමකින් දිරිදුන් කලබලයක් මිස මහජන විරෝධයක් නොවන බවය. මහජනතාව පීඩාවට පත් කරමින් පාර වසාගෙන පැවැති විරෝධය පසුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් විසුරුවා හැරිය බවත් ඒ වෙනුවෙන් මැදිහත් වූ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
ජනතාවට අවශ්‍ය වන්නේ තමන්ගේ ජීවත්වීමට එරෙහිව ඇති බාධා ඉවත් කර ගැනීම මිස පාරවල් වසා විරෝධතා පැවැත්වීමට නොවේ. බස් රථවලට පහරදී අලාභ කිරීමට ද නොවේ. ඒවා යළි පිළිසකර කර ගැනීමට වැය වන්නේ මහජන මුදල් බවද ජනතාව දනිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වීමය. තම උද්ඝෝෂණ ක්‍රියා මාර්ග නිසා තමන් අත්විඳින පීඩාවම කිසිදු අඩුවකින් තොරව අත්විඳින ජනතාව අමතර පීඩනයකට ලක්වන බව වටහා ගැනීම ඉතාම වැදගත්ය.
එක්වරම මාර්ග වසා දැමීමෙන් ඒ වනවිටත් පාරට බැස සිටි විශාල පිරිසක් පීඩාවට පත්වේ. එසේ පීඩාවට පත් වූ පාසල් සිසුන් සම්බන්ධ පුවත් ඉකුත්දා මාධ්‍ය වාර්තාවල සඳහන්ය. හදිසි රෝගියකු රෝහලකට රැගෙන යාමේදී ඇතිවන බාධා එම රෝගියාට මරු කැඳවීමක් වනු ඇත. මේවා සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගේ ගැඹුරු අවධානය යොමු විය යුතුය.
ජනතාව මුහුණ දෙන ප්‍රශ්න එලෙසින්ම තිබියදී සන්සුන් සංහිඳියාවක් බලාපොරොත්තු විය නොහැක. එහෙයින් ප්‍රමුඛ අවධානය යොමු කළ යුත්තේ ප්‍රශ්න විසඳීමටය. එසේ නොකිරීම රට ලේ වගුරක් කරා තල්ලුවීමට හේතුවක් වීම වැළැක්විය නොහැක.
(***)