මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙනි. අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, ඔවුන්ට හිමි විය යුතු වැටුප් වර්ධකය ලබාගැනීම සහ විශ්වවිද්‍යාලවල සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිදහස් වාහන බලපත්‍ර වරප්‍රසාද ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් එම දෙපාර්ශ්වය මෙම අඛණ්ඩ වැඩ වර්ජනය අරඹා තිබේ.
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යනු ලබන්නේ, විශ්වවිද්‍යාලයක තිබිය යුතු ප්‍රමිතියෙන් හා ප්‍රාමාණාත්මක ගුණයෙන් ද යන ප්‍රශ්නය බුද්ධිමත් සමාජයේ කතාබහට ලක්ව ඇති කාරණයකි. රටේ අනාගත දැනුම නිර්මාණය කරන විශ්වවිද්‍යාල ඇදුරන්ට තම වැටුප් විෂමතා ඉවත් කරගැනීමට, වැටුප් වැඩි කරගැනීමට අරගල කිරීමට සිදුව තිබෙන්නේ එහෙයිනි. සන්සුන් මනසින් දේශනාගාරයට ගොස් සිසු දරු දැරියන්ට ඉගැන්වීම් කටයුතු කිරීමට නොහැකි වන්නේත්, ලබාගත් උපාධියට රැකියාවක් ඉල්ලා වීදි සටන් කිරීමට සිදුව තිබෙන්නේත් එහෙයිනි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල ගැටලු මෙන්ම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ප්‍රශ්න එකවර උඩින් මතු වූ කාරණා නොවේ. මේවා කාලයක් තිස්සේ කකාරමින් තිබූ ප්‍රශ්න වේ. එහෙත්, ‘ප්‍රශ්න විසඳන්නැයි’ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් සටන මහ පාරට රැගෙන එනතුරු එම ප්‍රශ්න දෙස විමසිල්ලෙන් බැලූ බවක් නොපෙනේ. එහි තාර්කික වන්දිය ගෙවීමට සිදු වී තිබෙන්නේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු කරගෙන යෑමේ මහත් ගැටලු රැසක් මතු වී ඇති බවය. කෙසේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වීමට උත්සුක වන නමුත්, සිසුන් භෞතිකව සම්බන්ධ වී දේශන පැවැත්වීම තරම් එය සාර්ථක නොවන බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම පිළිගන්නා කාරණයක් බවය.
විශ්වවිද්‍යාලවලට ඇතුළු වන සිසුන්ගේ ඒකාන්ත අරමුණ නිර්බාධක පරිසරයක් මැද හොඳින් අධ්‍යයන කටයුතු නිම කර විභාග සමත්ව ඉක්මනින් සරසවියෙන් සමුගැනීමය. මන්ද යත්, ජීවන සටන ජය ගැනීමේ අරගලය ආරම්භ වන්නේ ඉන් පසුව වන හෙයිනි.
එහෙත් එක්කෝ, ශිෂ්‍යයන්ගේ අරගල, ආචාර්යවරුන්ගේ සටන්, අනධ්‍යයන කාර්යමණ්ඩල හා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සටන් නිසා උපාධිය සමත්ව සමාජයට එක්වීම බොහෝ පසුපසට ඇද දමයි. ඇතැම් සිසුවකුට රජයේ රැකියාවක් ලබා ගැනීමේ නියමිත වයස් සීමාව පසු වන තුරු උපාධිය ලබා ගැනීමට නොහැකි වූ අවස්ථා තිබේ. මෙම අපේක්ෂාභංගත්වය රට තුළ බරපතළ කැළඹිලි ඇති කිරීමට සමත් බව අපේ ඉතිහාසයේ ලෙයින් කඳුළෙන් ලියැවී ඇති පාඩමකි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට උපාධිය සමත්ව ඉක්මනින් පිටව යාමට මෙම වැඩ වර්ජන බරපතළ බාධාවක් වන්නා සේම, උසස් පෙළ සමත්ව සරසවියට පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වන දූ පුතුන්ගේ අපේක්ෂා භංගත්වයට හේතුවන්නකි. නිසාම තුන්කල් දක්නා ඉසිවර නුවණින් ප්‍රශ්න හඳුනාගෙන ඒවා පුපුරා යාමට ඉඩ නොදී සුහදව සාකච්ඡා කර විසඳා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමය.
කොවිඩ් මාරාන්තික වයිසරය පැතිරීම ආරම්භ වූ දා සිටම මෙරට පාසල් පද්ධතියත්, විශ්වවිද්‍යාල පද්ධතියත් බරපතළ වියවුළකට ගියේය. එම තත්වයෙන් සහමුලින්ම ගැලවීමට අද රටක් වශයෙන් තවමත් සමත් වී නැත. එහෙයින්, විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල මට්ටමින් පවත්වාගෙන යාම කෙරෙහි සෑම පාර්ශ්වයකම අත් නොහළ වගකීම බව අපි අවධාරණය කරමු.
(***)