විසම්මුතියෙන් සම්මුතියට ඇවිත් ආර්ථිකය නංවමු


විසම්මුතිය නිතරම දුර්භාග්‍යයට හේතු වන්නක් නොවේ. විවිධ අරමුණු හා අපේක්‍ෂා සහිත ජනතාව නියෝජනය කරන විට විසම්මුතිය ඇතිවීම ස්වාභාවිකය. මූලධාර්මිකව ගත්විට විවිධ දේශපාලන පක්‍ෂ ඔස්සේ නියෝජනය වනුයේ විවිධ ජනතාවගේ අරමුණු හා අපේක්‍ෂාය. එහෙත් විවිධ අරමුණු සහ අපේක්‍ෂා ඇති දේශපාලන පක්‍ෂවල පොදු අරමුණු පැහැදිලි කර ගන්නට දේශපාලන පක්‍ෂ අතර සංවාද ගොඩනැගිය යුතුවේ. එවිට සැමදෙනා කෙරේ බලපාන පොදු අපේක්‍ෂා හා අරමුණු පැහැදිලිව හඳුනාගෙන සම්මුතියකට එළඹිය හැකිය. සම්මුතිවලට එළඹීමෙන් අනතුරුව කළ යුත්තේ, එකී පොදු අරමුණු කරා යන වැඩපිළිවෙළ සකස් කොට එකාවන්ව එම අරමුණු ජය ගැනීමට ක්‍රියා කිරීමය.

පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමින් නව ජනාධිපතිවරයා කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී සියලු පක්‍ෂ හා කණ්ඩායම්වලට සාකච්ඡා සඳහා ආරාධනා කළේය. එම ආරාධනය බොහෝදුරට පල දැරූ බව පෙනී ගියේ විවිධ අදහස් දරන දේශපාලන කණ්ඩායම් එම ආරාධනය පිළිගෙන එම සාකච්ඡාවලට සහභාගීවීම නිසාය. මුල් වටයේ සාකච්ඡා සාර්ථක වූ බවද ප්‍රධාන පක්‍ෂ කිහිපයක නියෝජිතයන් පවසනු ඇසිණි.

මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටත් ඉදිරියේදී මෙවැනි අර්බුදවලට නොවැටීමටත් විසම්මුති අතරින් සම්මුතිවලට එළඹීම අතිශය වැදගත්ය. ජාතියක් ලෙස අපට ජය ගැනීමට ඇති පොදු අරමුණු බොහෝය. ආර්ථිකය ස්ථාවර කර ගැනීම කඩිනමින් කළ යුත්තකි. ඒ සමගම සාකච්ඡාවෙන් පොදු එකඟතාවලට පැමිණිය යුතු තවත් අතිශය වැදගත් දෑද ඇත. ආර්ථිකය ස්ථාවර කිරීමේ කඩිනම් අවශ්‍යතාවට අදාළ තීරණ ගැනීම සඳහා සම්මුතිවලට එළඹීමෙන් අනතුරුව අනෙකුත් අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම සංවාද නොකඩවා පවත්වා ගැනීම අතිශය වැදගත් වේ.

දැනට පවතින මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්‍ෂයක් සියයට සියයක් තෘප්තියට පත්ව නැති බව පැහැදිලිය. දේශපාලන පක්‍ෂ කෙසේ වෙතත් පොදු ජනයා තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය පිළිබඳව ඇත්තේ ප්‍රසාදයක් නොවේ. දිස්ත්‍රික් මට්ටමෙන් සමානුපාතික නියෝජනය ඔස්සේ මැතිවරණ තරගයට ඉදිරිපත්වන විට, දිස්ත්‍රික්කය පුරා ප්‍රබල ප්‍රචාරයක් ගෙන යාමේ හැකියාව ලැබෙන්නේ යහමින් ධනය හිමි අපේක්‍ෂකයාටයි. අපේක්‍ෂකයන්ගේ මැතිවරණ වැය සීමා කිරීමේ ක්‍රමයක්ද දැනට නැත. දිස්ත්‍රික් මට්ටමෙන් තේරී පත්වන මන්ත්‍රීවරයා ඍජුව මැතිවරණ කොට්ඨාසයකට වග කියන්නකු වන්නේද නැත. පෙර පැවැති කේවල ක්‍රමය යටතේ මන්ත්‍රීවරයා ඍජුව තම ඡන්ද කොට්ඨාසයේ ජනයා නියෝජනය කළ යුතුවිය. සමානුපාතික නියෝජනය යටතේ දිස්ත්‍රික් මට්ටමෙන්, පාර්ලිමේන්තුවට නුසුදුස්සන් පත්ව ඇත්තේය යන්න පොදු ජනයාගේ මතයයි. ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය පොදු ජනතාවගේ එම මතය සනාථ කරන්නකි. මේ නිසා පාර්ලිමේන්තුවට නියම ජනතා නියෝජිතයන් පත්වන මැතිවරණ ක්‍රමවේදයක් සැකසීම පක්‍ෂ නියෝජනය කරන්නන්ගේ වගකීමක් වේ. පක්‍ෂ අතර ගොඩනැගෙන සංවාදයකින් නිසි මැතිවරණ ක්‍රමයක් ගොඩ නැගීමේ සම්මුතියකට එළඹීම අතිශය වැදගත්ය.

සමානුපාතික නියෝජන ක්‍රමය තනිකර අහෝසි කිරීම ඇතැම් කුඩා පක්ෂවලට අවාසි සහගත නම්, ඔවුන්ගේ අදහස් විමසා බලා නිසි මිශ්‍ර ක්‍රමයක් සකස් ගැනීම සඳහා සම්මුතියකට එළඹිය යුතුය.

මේ සමගම රටේ ඉදිරි යහපත තකා ආර්ථිකයට හා කෘෂි කර්මාන්තයට බලපාන ඇතැම් සම්මුතිවලටද එළඹීම වඩා යෝග්‍යය. රසායනික පොහොර තහනම නිසා මේ වනවිට අපි පාඩම් ඉගෙන ගෙන ඇත්තෙමු. කෘෂිකර්මාන්තය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉදිරියේදී (ඉන්දියාවේ මෙන්) විෂය පිළිබඳ හසළ දැනුමක් ඇති විශේෂඥ කමිටුවක සහාය ලබා ගැනීම සඳහා සම්මුතියකට එළඹීම ඵලදායිවේ. එසේම විදේශ ආයෝජන සම්බන්ධ තීරණ, පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තීරණ ගැනීම, අපනයන ආර්ථිකය සම්බන්ධ තීරණ උදෙසා දේශපාලන පක්‍ෂ අතර සම්මුතිවලට එළඹීම අනාගත කටයුතු වෙනුවෙන් වඩාත් වැඩදායී වේ.

රටේ ප්‍රබල දේශපාලන වෙනසක් සිදුකළ පොදුජන අරගලයේ අවසාන අරමුණ වූයේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමයි. අරගලයේ අවසාන අරමුණ සමග සම්මුතියකට එළඹීම, සියලු සම්මුති සේම වැදගත්වේ.

(***)