මෙරට ආර්ථිකයට විශාල පීඩනයක් ගෙන දෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය පාර්ශවකරුවන්ට ගෙවිය යුතු අතිවිශාල ණය කන්දරාවෙන් අමෙරිකානු ඩොලර් කෝටි 51ක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය. එම අතිවිශාල මුදල රුපියල්වලින් කෝටි 15,500කටත් අධික මුදලක් බවද සඳහන්ය. ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහකරණයෙන් ලැබෙන මුදලින් එම මුදල අයකර ගන්නා බවද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් රටට බරක් නොවී පවත්වාගෙන යාමට රජය දරන උත්සාහය අගය කළ යුතුය. ඒ සඳහා ප්‍රතිව්‍යුහකරණයට යායුතු මෙන්ම එයට ශක්තිමත් ආයෝජකයකු ද අවශ්‍ය වේ. ආයෝජකයන් හිතුමතේ ගෙන්වා ගැනීමට ද හැකියාවක් නැත. රටට ජාතික ගුවන් සේවය කොතරම් වැදගත් වුවත් එය නඩත්තු කිරීම සඳහා රටේ ජනතාවගේ බදු මුදල් කෝටි ගණනින් වැය වෙනවා නම් ඒ වැදගත්කම ශුන්‍ය වෙයි. ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය ජනතාවගේ ප්‍රබල විරෝධයකට හසු නොවන්නේ එබැවිනි.
එහෙත් මෙහිදී සලකා බැලිය යුත්තේ ආයෝජකයකු ආකර්ශනය කර ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 15,500ක් වැය කිරීම කොතරම් සාධාරණ ද යන කාරණාවයි. විශාල ණය බරකින් යුත් ගුවන් සමාගමකට කර ගැසීමට කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල අමාත්‍යවරයා කළ ප්‍රකාශය සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකන් ආයතනයේ ණය බර මෙරට මහජනතාවගේ බදු මුදලින් ගෙවා දැමීමට ආණ්ඩුව තීරණය කිරීම සාධාරණ නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ තරම් පාඩු ලබන ආයතනයක් බවට පත්කිරීමට සම්මාදම් වූ කිසිදු නිලධාරියකුට හෝ දේශපාලකයකුට හෝ අත නොතබා ජනතාවගේ බදු මුදලට නොපැකිලිව අත තැබීමට තීන්දු ගැනීම ඔවුන්ගේ නොසතුටට හේතු වන බැවිනි. ශ්‍රී ලංකන් ආයතනය මේ තත්වයට ඇද දැමීමට මහජනතාව වගකිව යුතු නැත.
ඒ සමඟ ප්‍රශ්න කළ යුත්තේ ශ්‍රී ලංකන් ආයතනය ගොඩනැගීම සඳහා ඉදිරි මාස 06ක කාලය තුළදී ඩොලර් මිලියන 70ක් හෙවත් රුපියල් කෝටි 2100කට ආසන්න මුදලක් ලබාදෙන බවටත් එම කාලය තුළ ගුවන් සමාගමේ වියදම් අධික ලෙස පාලනය කරන බවටත් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය විශ්වාස කළ හැකිද යන්නයි. රාජ්‍ය ආයතනවල පාඩු මැකීම සඳහා භාණ්ඩාගාරය පොම්ප කරන මුදල් බොහෝ විට නතර වන්නේ මකර කටේ බව අතීත ආදර්ශ මගින් පෙන්වාදී තිබීම ඊට හේතුවයි. අවසානයේ ඒ මුදලට සිදු වූ දෙයක් නැත. ගොඩගිය ආයතනයක්ද නැත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන දැවැන්ත ණය බරින් කොටසක් රජය භාර ගතහොත් ශක්තිමත් ආයෝජකයකු සොයා ගැනීමට හැකියාව තිබෙන බවට අමාත්‍යවරයා විශ්වාසය පළකර තිබේ. එහෙත් එහිදී සිහිපත් කර දිය යුතු කාරණය වන්නේ ශ්‍රී ලංකන් ආයතනය ඉතා ශක්තිමත් ජාත්‍යන්තර ගුවන් සමාගමක් වන එමිරේට්ස් සමග එකතුවී කාලයක් ලාබ ලබමින් පවත්වාගෙන ගිය ආයතනයක් බවය. එසේ ද්විපාර්ශ්වික සමාගමක් වශයෙන් සාර්ථකව පවත්වාගෙන ගිය ගුවන් සේවය කඩාබිඳ දැමුවේ ඒ තුළට දේශපාලන තීන්දු බලෙන් එබීමට තැත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ හේතුවෙන් සමාගමේ ඉතා සාර්ථකව කටයුතු කරමින් සිටි ප්‍රධාන විධායක නිලධාරියා සේවය අතහැර ගියේය. ඉන්පසුව ගුවන් සමාගමේ පාලනය දේශපාලන වශයෙන් ඉතා සමීප ඥාතින් මිත්‍රාදීන් අතට පත්කරනු ලැබීය.
අද ශ්‍රී ලංකන් ආයතනය ඩොලර් කෝටි 51ක ණය කන්දරාවකට යටවී ආයෝජකයකු සොයා ගැනීමට පවා නොහැකි තත්වයට පත්වී ඇත්තේ එදා ගනු ලැබූ එම වැරදි දේශපාලන තීන්දු හේතුවෙනි. ඒ සෑම ආණ්ඩුවකම නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ බැවින් ඒ අතීතය යන්තමින් හෝ මතක ඇතැයි අපි සිතමු. එම වැරදි කළ නිලධාරීන් සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් දේශපාලකයන්ට එරෙහිව කිසිදු පියවරක් නොගෙන තිබියදී මෙසේ රටේ ජනතාවගේ බදු මුදලින් ශ්‍රී ලංකන් ආයතනයේ ණය බර ගෙවා දැමීමට කටයුතු කිරීම කොතරම් දුරට සාධාරණදැයි ආණ්ඩුවේ දේශපාලකයන් තම හෘදය සාක්ෂියෙන් විමසා බැලිය යුතු ය.
(***)