පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ බලය, නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මුල්‍ය පාලනය සම්බන්ධ බලය තිබීම පාර්ලිමේන්තුව එවැනි ගරු සරු සම්භාවනාවකට හිමිකම් කියයි. එහෙත් ඇතැමකුට අනුව පාර්ලිමේන්තුව යනු කාලය කා දමන මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් කාබාසිනියා කරන ප්‍රජාතන්ත්‍රවාදයට, මහජන මතයට ගරු නොකරන කට වාචාලයන්ගේ හා චණ්ඩින්ගේ නිජ බිමක් වශයෙන් නිර්වචනය කළ හැකිය. ඇතැම් සිදුවීම්වලින් ද තර්කයකින් තොරව එය ඔප්පු වූ අවස්ථා ද තිබේ.
කරුණු කාරණා එපරිදි වුවද පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු ජනනය කිරීමට සමත් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා උපුටා දක්වමින් පළ කර තිබූ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ රටේ දූෂණ වංචා සහ නාස්තිය වැළැක්වීමට නම් රුපියල් කෝටියට වැඩි සියලුම ව්‍යාපෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත් කෙරෙන ස්වාධීන කොමිෂන් සභාවක අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවය. එවැනි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස තමා පාර්ලිමේන්තුවට ද යෝජනා කරන බවට ඒ මහතා ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
පාර්ලිමේන්තුව කළ යුත්තේ එවැනි වැඩය. මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් හෘදය සාක්ෂියක් සහිත, වංචාවට දූෂණයට හා නාස්තියට අවංකවම එරෙහි ගරු කටයුතු සහිත මහජන නියෝජිතයන් නිසැකවම හඳුනා ගැනීමට හැකිවනු ඇත.
අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ විවිධ ආණ්ඩු පසුගිය කාල සීමාවේ දී ව්‍යාපෘති රැසක් අතරමග නතර කර දැමීමෙන් රුපියල් කෝටි දස දහසකට ආසන්න මුදලක් රජයට අහිමි වී ඇති බවය. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ වූ ව්‍යාපෘති අතරමග නැවතීමෙන් රුපියල් කෝටි 3000 අහිමි වූ බවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර වීමෙන් සිදු වූ පාඩුව රුපියල් කෝටි පන්සියයක් බවත් පෙන්වා දෙයි. පිබිදෙන පොලොන්නරුව වැඩසහටන යටතේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල අතරමග නතර කර දැමීමෙන් රුපියල් කෝටි දොළහක පාඩුවක් සිදුවී ඇතැයි ද සුදු අලියෙකු බවට පත්ව ඇති මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් රුපියල් කෝටි හාර දහසක් පමණ වැයවී ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට, ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ව්‍යාපෘති වෙනස් වූ පසු මෙම ගැටලුව පැන නගින බවය.
මහජන මුදල්, රාජ්‍ය දේපොළ, සඟසතු දේපොළ වශයෙන් සැලකූ දුරාතීතයක් අපට තිබේ. ගිහියකු සඟසතු දේපොළ පරිහරණය කරන්නේ නම් ඊළඟ භවයේදී පෙරේතයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන් වී ඉපදෙන බව පැරැන්නෝ විශ්වාස කළහ. එම විශ්වාසයම මහජන ධනය, මහජන දේපොළ සම්බන්ධයෙන් ආදේශ වූයේ නම් අප රටට මෙබඳු දුක්ඛිත ඉරණමක් අත්වන්නේ නැත. අප රටේ ජනතාවට නිරාදුක් විඳීමට සිදුවන්නේ ද නැත.
බොහෝ සංවර්ධන ව්‍යාපෘති මැති ඇමැතිවරුන්ගේ, නිලධාරීන්ගේ සාක්කු පුරවන ව්‍යාපෘති බවට පමණක් පත්වී තිබේ. ඇතැම් ව්‍යාපෘති නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව ආරම්භ කෙරේ. ඒ නාස්ති වන්නේ මහා භාණ්ඩාගාරයේ මුදල් බැවින් මැති ඇමතිවරුන්ට, නිලධාරීන්ට අමුතු වේදනාවක් ද ඇති නොවේ. එහෙයින්ම මෙම මජර තත්වය වෙනස් කළ යුතුය. අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ යෝජනාව කාලෝචිතය. මෙවැනි කාලෝචිත යෝජනා කල් ඉකුත්වීමට මත්තෙන් ක්‍රියාත්මක කළ යුතුය.
(***)