සමරු උත්සව බාල්දු නොකරමු


උතුම් බුදු වදනකින්ම මෙම සටහන ආරම්භ කිරීම සුදුසු යැයි අපි සිතුවෙමු. එම උතුම් බුදු වදන නම් ‘කතඤ්ඤු කතවේදී පුග්ගලෝ ලෝකස්මිං’ යන්නයි. එහි සරල අර්ථය වනුයේ ‘කෙළෙහි ගුණ දන්නා පුද්ගලයන් ලොව දුර්ලභය’ යන්නය. සනාතනික හා සදාතනික දහමක් වන බුදුදහමේ එම පරම සත්‍ය යළිත් වරක් පසක් කරන ප්‍රවෘත්තියක් අප පුවත්පත සේයාරුවක් ද සමඟින් ඉකුත් දා වාර්තා කළේය.

එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මෙරට පුරාවිද්‍යා කේෂ්ත්‍රයට අමිල මෙහෙවරක් කළ පඬිවරුන් දෙදෙනකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආචාර්ය ශිරාන් දැරණියගල යන මහත්වරුන් සැමරීම සඳහා කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ සමරු දේශනයක් ඉකුත් 5 වැනිදා සූදානම් කර තිබූ බවය. බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ එම වැඩසටහනට කිහිප දෙනකු පමණක් සහභාගි වී සිටිය බවත් විදුර වික්‍රමනායක මහතාද පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඇති බව පවසා සුළුවේලාවකින් ඉන් පිටව ගිය බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පදම මෙම උත්සවය සංවිධානය කර තිබේ.

සැමරුම් උළෙල පැවැති ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් පමණක් හෝ සහභාගි වූයේනම් මෙම ශාලාවේ හරි අඩකටත් වඩා පිරවිය හැකි යැයි අපි විශ්වාස කරමු. එහෙත් දක්නට ලැබුණේ ඉතාම ශෝචනීය තත්ත්වයකි.

මෙරට සෑම විශ්වවිද්‍යාලයකම පාහේ පුරාවිද්‍යාව විෂයක් වශයෙන් උගන්වනු ලබයි. එම පුරාවිද්‍යා විෂය හදාරා උපාධි සමත්ව පිටව ගිය පිරිස්  මෙන්ම තවමත් ඉගෙන ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද යන්න සොයා බැලිය යුතු තරම්ය. එමෙන්ම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට යැයි කියමින්  කෑමොර ගසන සංවිධාන මේ රටේ කොතෙක් තිබේද? එම සංවිධානවලින් එක් නියෝජිතයකු මගින් හෝ සහභාගි වූයේනම් සම්මන්ත්‍රණ ශාලාව පිරවිය හැකිව තිබිණි.

කළ මෙහෙවර දන්නා පිරිස් දුර්ලභ මෙම ලෝකය තුළ මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආචාර්ය ශිරාන් දැරණියගල යන මහත්වරුන්ගේ උපමානැති සේවය අගයමින් සමරු උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමට විශේෂ කෘතවේදීත්වයක් දැක්විය යුතුය. අපේකම හාරා මතු කර ඒ විචිත්‍ර ඉතිහාසගත චිත්‍රය මුළු ලොව ඉදිරිපිට ප්‍රදර්ශනය කර ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළ මෙම පුරාවිද්‍යාඥයන් දෙදෙනා අමතකවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා  ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් මෙන්ම ඊට ආරාධනා ලද සියල්ලෝම ලජ්ජාවට පත්විය යුත්තෝය.

දස මසක් කුස දරා ගත රුහිරු කිරිකර පොවා හැදූ වැඩූ ආදරණීය අම්මා ගත දා බිඳු හෙළා මුළු ජීවිතයම තමන් වෙනුවෙන් කැප කළ ආදරණීය තාත්තා මහ මග දමා යන, බලු කූඩුවල ගාල් කරන ආදර්ශවත් දූපුතුන් සිටින රටේ ඉහත සිදුවීම එක් අතකින් විමතියට කරුණක් ද නොවේ.

එහෙත් අවධාරණය කළ යුතු වැදගත්ම කාරණයක් තිබේ. දුගී අප සතු පරම ධනය අපේ සංස්කෘතිය සහ එයින් නිපන් සාරධර්මයන්ය. ඒවා බැහැර කරමින් යන ගමනකින් අපට අත්පත් කරගත හැකි ජයග්‍රහණයක් නැත. අප යන්නේ එමඟ නම් අපට හමුවනු ඇත්තේ පරාජය සහ විනාශය පමණි. එහෙයින් මෙබඳු සිදුවීම් දෙස ආධ්‍යාත්මය විවර කර බැලිය යුතුය.

(***)