සමස්ත සමාජයම සැලෙන ඛේදවාචක දෙකක්


පොලොන්නරුව, මඩකලපුව මාර්ගයේ වැලිකන්ද සෙවණපිටිය, කොළකනාවාඩිය ප්‍රදේශයේ වෑන් රථයක් හා අත්ට්‍රැක්ටරයක් ගැටීමෙන් අත්ට්‍රැක්ටරයේ ගමන් කරමින් සිටි එකම පවුලක ඥාතීන් සිව්දෙනකු ඇතුළු පස්දෙනකු මිය යාමේ සංවේගජනක පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කිරින්ද මුහුදේ රැල්ල පාගමින් සිටි හැටන් ප්‍රදේශයේ එකම පවුලේ හතර දෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් දැරිවියන් දෙදෙනකු හා ඔවුන්ගේ පියා මියගිය බවය. මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබන බව ද ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.

මරණය පොදු වුව ද මෙසේ මිනිසුන් අකාලයේ මියයා යුතු ද? පොලොන්නරුව රිය අනතුරේ දී අත්ට්‍රැක්ටරයේ ටේ්‍රලරයේ කුඩා දරුවන් සමඟ විසිතුන් දෙනකු ගමන් කර ඇති බවත් පොසොන් වන්දනාවේ ගොස් අලුයම නිවෙස් බලා යමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවත් ප්‍රවෘත්තියේ සඳහන් ය. කිරින්දේ අනතුර සිදුවූ ස්ථානය අනතුරුදායක බවට සඳහන් පුවරු සවිකර ඇති බව ද සඳහන් ය. වගකීම් සහගත වූයේ නම් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නම් මෙම ඛේදවාචක දෙක ම වළක්වාගත හැකිව තිබිණි.

යකඩ, තහඩු කඳන්වල ඇඹරී දහදුක්විඳ මිය යාමට නම්, විනෝද ගමනක් මුහුදු රළට දිවි පිදීමකින් කෙළවර කිරීමට නම් ඉපදුණේ ඇයි ද? යන්න ප්‍රශ්නයකි. මන්දයත් එබඳු දුක්ඛිත මරණයක් කිසිවකු හෝ අපේක්ෂා නොකරන හෙයිනි. මියගිය පුරවැසියන්ට මෙන්ම රෝහල්ගතව සිටින තුවාලකරුවන්ට ජීවිතයට සම්බන්ධ බලාපොරොත්තු මහ මෙරක් උසට තිබුණාට සැකයක් නැත. එහෙත් ඒ සියල්ලට ම ඉහළින් මඟ මරුවා බලවත් වී තිබේ. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නම් මෙම විපත වළක්වාගත හැකිව තිබූ බවට ද සැකයක් නැත.

අත්ට්‍රැක්ටරයක් යනු මෙරට පැරැණිතම වාහනයකි. එහි පහසුකම් ද එතරම් ම පැරැණි ය. ඇතැම්විට ඉදිරි විදුලි පහන් ද නොමැති විය හැකි ය. පැති කණ්ණාඩි නැත. තිරිංග තද කරන විට දැල්වෙන රතු බල්බය ද නැත. සිග්නල් ලයිට් නැත. කොටින්ම කියන්නේ නම් මෙම වාහනය මගී ප්‍රවාහනයට සුදුසු ම නැත. රාත්‍රී සංචාරවලට ද එසේ ම ය.

පොලොන්නරුව වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල පමණක් නොව අග නගරයේ ද ඇතැම් වීදිවල වීදි පහන් නැත. කොළඹ නගරයේ ද එසේ ම ය. රාත්‍රියට බොහෝ වීදි අන්ධකාරයේ පිරී තිබේ. වාහනයක දැල්වෙන ඉදිරි පහන් එළියෙන් පමණක් රිය පැදවීමට සිදුවී තිබේ. එය බෙහෙවින් ම අනතුරුදායක බවට සැකයක් නැත.

අප රටේ බොහෝ ප්‍රදේශවල අත්ට්‍රැක්ටරය එම පළාත්වාසීන්ගේ විනෝද චාරිකා සඳහා බෙහෙවින් ප්‍රයෝජනයට ගනී. වෙනත් වාහන පහසුකම් නොමැති වීම එයට හේතුවක් විය හැකි ය. එහෙත් බොහෝවිට අත්ට්‍රැක්ටරයේ ගමන විනෝදය සඳහා ද යොදා ගැනේ. එය බෙහෙවින් ම අනතුරුදායක බව වටහා ගත හැකිවන්නේ මෙබඳු ඛේදවාචකයකින් පසුව ය.

විනෝදයට ප්‍රමුඛ අවධානය යොමු කළ විට පළමුව ගිලිහී යන්නේ ආරක්ෂාව සම්බන්ධ අවධානය ම වේ. මෙබඳු සංචාර සඳහා බොහෝ විට පවුල් පිටින් එකතුවීම සාමාන්‍ය තත්ත්වයකි. අනතුරක් වූ විට එය පවුලේ එක් අයකුට අත් වූ අනතුරක් නොව මුළු පවුලට ම අත් වූ ඉරණමක් බවට පත්වේ. අනාරක්ෂිත වීමේ ඛේදවාචකය එය ය. කොළකනවාඩිය රිය අනතුරේ දී මියගිය පස්දෙනා අතර මවක හා දියණියක ද සිටීමෙන් ඒ බව පසක් වේ.

වෑන් රථ - අත්ට්‍රැක්ටර් අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ. පොසොන් සමයේ දී මෙම පළාත්වල ජනයා මෙබඳු ගමන් බිමන්වල යෙදෙන බව සාමාන්‍ය දැනීමට අයත් එකකි. එහෙයින් සුපරික්ෂාකාරීව රිය පැදවීම රියැදුරකුගේ වගකීමකි. වගකීම අවශ්‍ය ප්‍රමාණයෙන් හඳුනා නොගැනීමේ තාර්කික අන්තය අනතුරු වේ.
වාහනයක ගමන් කරන විට සීට් බෙල්ට් පැළඳීම අනිවාර්ය කර ඇති නීතියකි. ඇතැම් පුරවැසියෙක් එය තමන්ට හිරිහැරයක් ලෙස සලකයි. එහෙත් එහි අගය වටහාගත හැකි වන්නේ අනතුරක දී ය. කරුණු කාරණා එපරිදි වුව ද වෑන් රථවල, කුඩා ලොරි රථවල පුටු තබාගෙන එහි අසුන්ගෙන යෑම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. අනාරක්ෂිත බව වටහා ගැනීම අසීරු නැත.

ඇතැම් පුරවැසියන් කියන්නේ තමන්ට ද සුඛෝපභෝගී වාහන තිබෙන්නේ නම් ඒවායෙන් යන බව ය. “අප යන්නේ අපට තිබෙන වාහනේ යැ”යි ඔවුන්ට කිව හැකි ය. ඔවුන්ට අනුව එය සාධාරණ විය හැකි ය. එහෙත් එහෙම ගමන් කර අනතුරක් වුවහොත් වන්දි ගෙවීමට සිදුවන්නේ තමන්ට ම ය. එවිට තමන්ට පිහිට වීමට කිසිවකුත් නැත. සියලු දුක් තමන් ම දරාගත යුතු ය. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුවන්නේ එහෙයිනි.