වියපත් මව්පිය දෙපළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය මංසන්ධියට ගෙනැවිත් දමා තිබෙන අයුරු සේයාරුවක්ද සමගින් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තෙදිනක් පුරා කඩපිලක වැතිර සිටි එම මවට හා පියාට තමන්ගේ කටයුතු පවා සිදු කර ගත නොහැකි තරමට අබල දුබල යැයිද එම ප්‍රවෘත්තියේ සඳහන්ය. තම දරුවන්ගේ ගරුත්වය ආරක්ෂා කරනු පිණිස එම දරුවන්ගේ නම් ගම් නොකියන එම මව සහ පියා තමන් හොරණ ප්‍රදේශයේ විසූ බව පමණක් සඳහන් කරන බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
සෙත් පිරිතෙන් අවදි වී මහ පිරිතෙන් නින්දට යන ජාතියක අධ්‍යාත්මය කම්පනයට පත් කිරීමට එම ප්‍රවෘත්තිය සමත්ය. කවර හෝ හේතුවක් මත තම දෙමාපියන්ට මෙතරම් අකාරුණිකවීමට කිසිදු දරුවකුට අයිතියක් නැත. එහෙත් අධ්‍යාත්මය නිර්වින්දනය කර ගත් පසු සිදු කළ නොහැකි පාපයක් නැත. වැල්ලම්පිටිය කඩපිලක අසරණව වැතිර සිටින වියපත් මව්පිය දෙපළ අප හමුවේ සනාථ කරන සදාතනික සත්‍ය එය වේ.
ඇළේ සිටින මාළුන් ඇල්ලීම පාප ක්‍රියාවක් බවට අවවාදයක් කළැයි 85 හැවිරිදි හිමිනමකට පොලුවලින් පහරදී ඝාතනය කළා කියන තරුණයන් හත් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේ මහලු මව්පිය දෙදෙනා සම්බන්ධ සෝබර පුවත වාර්තා කළ දිනයේදීමය.
මෙම සිදුවීම් ඔබට විශ්වාස කළ හැකිද? කුරක්කන් හේනේ කුරුල්ලන් එළවන්න නාඹර රූබර යුවතියන් කී කවි අසා රහත්වූ බුදු පුතුන් වැඩ සිටි ධර්මද්වීපය තුළ අද සිදුවන්නේ මසුන් ඇල්ලීම පාපයක් බව පෙන්වා දුන් තරුණයන්ගෙන් පොලු පහර කා අපවත්වීමටය. පන් දහසක් කල් සස්න රක්නා රට යැයි බුදුපියාණන් වහන්සේගේ පින්සිරිබර මුව කමලින් නියත විවරණ ලද බුදුන් පහස ලද ශුද්ධ භූමියේ සිදුවන්නේ මෙවන් අවකල්ක්‍රියාය.
‘‘විශේෂිතය සමස්තය නොවන’’ බව ඒකාන්ත සත්‍යයකි. යම් සිදුවීමක් වූ පමණින් ‘‘හපොයි රටකට ගිය කලක්’’ යැයි විස්සෝප විය යුතු නැත. අපමණ සෙනෙහසින් මවුපියන් රැක බලා ගන්නා බෝසත් දූ පුතුන්ගෙන් මේ බිම පිරී පවතී. එමෙන්ම වියපත් මව්පියන් මිනිස් කසළ මෙන් පිටු දකින අදිමිටු දුර්දාන්ත අජාසත්ත පරපුරේ අශිෂ්‍ට දරුවෝද සිටිති. එබඳු දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වීම අනාගතය සම්බන්ධයෙන් භීතිය උපදවන්නකි.
සමාජයක් වශයෙන් අප ආධ්‍යාත්මිකව පොහොසත් නම් මෙරට මහලු නිවාස තිබිය නොහැක. ළමා නිවාස තිබිය නොහැක. එහෙත් සමාජය සංකීර්ණවත්ම එතෙක් රැකගෙන ආ අධ්‍යාත්මික සාරය එලෙසින්ම පවත්වාගෙන යා නොහැක. එහෙයින් මහලු නිවාස බිහිවී තිබේ. ළමා නිවාස බිහිවී තිබේ. එහෙත් මහලු මව්පියන් එවන් මහලු නිවාසයකට හෝ බාර නොදී කසළ මෙන් මහ මග දමා යන්නේ නම් එම දූ පුතුන්ගේ අභ්‍යන්තරය කෙතරම් දුෂ්‍ට හා පාපීද යන්න හඳුනා ගැනීම අසීරු නැත. එම දුෂ්ටත්වය රළ නගමින් තිබෙන්නේ නම් දෙදහස් හත්සිය වසරක අදින අදම්‍ය අපරාජිත හා ශ්‍රේෂ්‍ඨ ඉතිහාසයක් සම්බන්ධ සාඩම්බර වාගාලාපයන්ගෙන් අබමල් රොණක තරමින් හෝ ප්‍රයෝජනයක් නැත. එම වාගාලාපනියත ලෙසම අරුත් සුන් නීච වාගාලාප වීම වැළැක්විය නොහැක.
රටක වැඩිහිටි පරම්පරාව සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙළක් වඩාත් නිවැරැදිව ක්‍රියාත්මක කළ යුතුය. එබඳු වැඩපිළිවෙළක් දැනුදු ක්‍රියාත්මකවන නමුදු එය සාර්ථක නොවන බව වැල්ලම්පිටිය සිදුවීමෙන් මෙන්ම එබඳු බොහෝ සිදුවීම්වලින් පැහැදිලිය. හැම ගමකම සෑම නිවෙසක්ම ආවරණය වන පරිදි රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඒ ඒ නිවැසියන් මුහුණදී සිටින අර්බුද වටහා ගනිමින් ඒවාට නිවැරදිව ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ යුතුය. වැඩිහිටියන් සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ඇතැම්විට එම දූ දරුවෝ නොදනිති. ඔවුන් සතු එකම විකල්පය මහලු මව්පියන් මහමග අතැර දමා යාමය.
සමාජ සංරක්ෂණය සම්බන්ධයෙන් නව මානයෙන් සිතා සිතා බැලිය යුතු බව මෙම සිදුවීම්වලින් පැහැදිලිය.
සියවසකට පමණ පසුව පැමිණි කොරෝනා මාරාන්තික වයිරසය අපට ‘‘ජීවිතය’’ උගන්වමින් සිටී. අප විසින් රැකිය යුතු සකල විධ සාරාර්ථ හා පරමාදර්ශ මොනවා දැයි පැහැදිලි කරමින් සිටී. මේ මොහොතේ මෙම ගැඹුරු පාඩම් ඉගෙන නොගන්නේ නම් නැවත අවස්ථාවක් නොලැබෙන බවද අවධාරණය විය යුතුය.
(***)