බාල වයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට විකුණූ බව කියන හිමිනමක හා ඊට ආධාර අනුබල දුන් බව කියන කුලී රථ රියදුරකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය පිළිබඳ පුවත නොබෝදා අප පුවත්පතේ පළවූයේය.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයන් කර ඇති වැරදි සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බව සඳහන් කළ වගද එම පුවතේම දැක්වේ.
මෙම පුවත කාරණා කීපයක් නිසා ම මෙරට පුරවැසියා තුළ ඉමහත් කම්පනයක් ඇති කරනු ලබයි. වඩාත්ම සිත සසල කරන කාරණය නම් මෙම නිර්ලජ්ජිත ජාවාරමට අවුරුදු පහෙන් පහළ ළදරුවන්ගේ දර්ශන ගාවා ගැනීමයි. සමාජ ශෝධනයේ වගකීම කර මත ඇති පූජ්‍ය පක්ෂයේ අයකු මෙවන් සමාජ දූෂණ ක්‍රියාවන්ට පෙළඹීම සිත් කම්පා කරන දෙවැනි කාරණයයි.
සමාජ සක්‍රියතාවටත්, ඵලදායීතාවටත් ඉවහල් කරගත හැකි වට්ස් ඇප් වැනි නවීන සමාජ සන්නිවේදන ක්‍රම, මෙවන් පහත් ව්‍යාපාරවලට ඉවහල් කරගෙන මුදලට ඇති කෑදරකම විදහාපෑම තවත් අවාසනාවකි. මේ උසස් තාක්ෂණික සන්නිවේදනය ජාතියේ දියුණුවට ඉවහල් කරගත යුතු කාලයක් විනා පිරිහීමට ඉවහල් කරගත යුතු කාලයක් නොවේ.
රටේ බිඳවැටී ඇති ආර්ථිකය රට තුළ නිෂ්පාදනය වැඩි කිරීමෙන් හා අපනයනය වැඩි කිරීමෙන් යළි කවදා හෝ යථා තත්ත්වයට පත්කර ගත හැකිය. එහෙත් කුඩා දරුවන්ගේ දර්ශන මුදලට විකිණීමට තරම් හා සිය ලිංගික ආශාවන් තෘප්ත කරගැනීම උදෙසා ඒවා මිලට ගැනීමට තරම් අාධ්‍යාත්මික අතින් පහතට වැටී ඇති මිනිස් ප්‍රජාවකගේ අාධ්‍යාත්මය කවදා කෙසේ නම් ගොඩගත හැකිදැයි සිතාගත නොහැකි තරම් ය.
අයෙක් බුද්ධ ශාසනය තුළ පැවිදි බව ලබාගත යුත්තේ සමාජ සත්වයාගේ අාධ්‍යාත්මය නොහැදියාවෙන් මුදා සාධනීය තත්ත්වයට පරිවර්තනය කොට තමන් ද අාධ්‍යාත්මික විමුක්තිය ලබන්නටය. දැන් වැටත් නියරත් කිරිවදින ගොයම කෑදර සිතින් භක්ෂණය කරනු දිස්වේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තිය යටතේ ළමයින්ගේ අසභ්‍ය දර්ශන වීඩියෝ පට ඡායාරූප බෙදාහැරීම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ වරදකි. එවැනි නිරුවත් ඡායාරූප නිල් චිත්‍රපට හෝ වීඩියෝ දර්ශන තව කෙනකු සමග බෙදාගැනීම එම නීතිය යටතේ වරදක් වේ. මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවස්ථා කිහිපයකදීම පැහැදිලි කර තිබේ.
මෙවන් අසභ්‍ය දර්ශන මිලට ගෙන සිතත් කයත් තෘප්ත කර ගැනීමට හුරු වූ සමාජයක් යහමගට ගැනීම නීතියෙන් පමණක් කළ නොහැක්කකි. ඒ සඳහා සමාජ කතිකාවක් හා එකඟතාවක් අවශ්‍ය වේ. මෙවැනි සමාජ උවදුරු දුරලීමේ දී රටේ අධ්‍යාපනයට විශාල කාර්යභාරයක් පැවරෙයි. අධ්‍යාපනය ඔස්සේ යහපත් ගති පැවතුම් සමාජ ප්‍රගමනයට ඉවහල් වන බව අවබෝධ කර දිය යුතුය.
මෙවැනි පහත් ගණයේ පෙළඹීම් බොහෝවිට නිරීක්ෂණය කළ හැකි වන්නේ නිකරුණේ කාලය කා දමන මිනිස් සමාජය තුළයි. එම නිසා රටේ ප්‍රජාව ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත කරවීම මෙවැනි සමාජ උවදුරු දුරලීම සඳහා බෙහෙවින් උපකාරී වේ.
පූජක පක්ෂයේ අයකු මෙවැනි සමාජ දූෂණ ක්‍රියාවක නිරත වූ විට සාමාන්‍යයෙන් සිදු වන්නේ ඔහු චීවරධාරියකු බවට නම් කොට ඇඟ බේරා ගැනීමයි. එහෙත් පැහැදිලි සමාජ ගැටලුවක් මෙතැන පවතී. ජනයා පූජනීයත්වයේ ලා වඳින පුදන චීවරයත් විහාරස්ථානයත් මෙහිදී අවභාවිතයට ලක් කොට තිබේ. (එම හිමිනම වැඩ වසන විහාරස්ථානය පවා එම පුවතේ දැක්වේ).
සමාජ දූෂණයට චීවරයත් විහාරස්ථානයත් හවුල් නොවෙතැයි ජනතාව තුළ පවතින අචල විශ්වාසයම මෙහිදී අවභාවිතයට ලක් කොට පහත් ක්‍රියා සඳහා එම පූජනීයත්වය තුළ පවතින ආරක්ෂාව සිය වාසියට හරවාගෙන ඇත.
(***)