ධර්මද්වීපය යැයි විරුදාවලි ලත් රට බොහෝ වේගයෙන් සංස්කෘතික කාන්තාරයක් බවට පත්වෙමින් තිබේ. අසන්නට, දකින්නට ලැබෙන සිදුවීම් හද කම්පා කරවයි. මිනිසුන්ට මෙහෙම හැසිරිය හැකිදැයි’ සිතෙන තරමට එම සිදුවීම් ජුගුප්සාජනකය. එමෙන්ම කුරිරුය. මෙම සිදුවීම් වාර්තා වන්නේ නූගත් අඥාන පුරවැසියන්ගෙන් පමණක් නොව දැන උගත්කමින් පිරිපුන් සමාජයේ වගකිවයුතු යැයි සැලකෙන පුරවැසියන්ගෙන් වීම ද විශේෂිතය. මේ බව පසක් කරවන සිදුවීමක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ දරුකමට හදා ගැනීමට ගත් බව කියන 5 හැවිරිදි දැරියකට කෲර වධ හිංසා සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසන බවය.
විශ්වවිද්‍යාලයේ කඹුරුපිටියේ නිල නිවෙසක සිටින දරුවකු නිතර අඬන බවට කිසිවකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාට දුන් තොරතුරකට අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් එම දැරිය පොලිස් බාරයට ගෙන ඇති අතර ඒ වන විටත් එම දැරියගේ ශරීරයේ කීප තැනක පහරදීම හේතුවෙන් නිල්පැහැ ගැන්වී තිබූ බව සඳහන්ය. දැරියගේ නාසය, තොල්, තල්ල ආදි ශරීරාංග තුවාල වී තිබූ බවත් එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
සැකකරු ‘බෙල්ට්’ එකක් කැඩෙන තෙක් එම දැරියට පහරදී ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත. ළමා නිවාසයක සිටි එම දැරිය හදා ගැනීම සඳහා නීති මාර්ගයෙන් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.
මෙම තක්කඩියා සිදුකර තිබෙන්නේ සරසවි ඇදුරකුට නොව පහේ පංතියට හෝ නොගිය නූගතකුට තරම් හෝ නොවන අපරාධයකි. අවුරුදු පහක් පමණ වන දැරියක් මෙම දරුණු වධ හිංසා කෙසේ දරා සිටියේ ද යන්න සිහි නුවණින් විමසා බැලිය යුතුය. ළමා නිවාසයක හැදුණු වැඩුණු බැවින් එම දැරිය අකීකරු වන්නට ඇත. මුරණ්ඩු වන්නට ඇත. එහෙත් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට වැඩිහිටියන් සමත් විය යුතුය. එහෙත් මෙම සරසවි ඇදුරා කර තිබෙන්නේ මෙම දැරිය නිර්දය ලෙස හිංසාවට ලක් කිරීමය. එය එසේ වන විට සරසවි ඇදුරකු වීමට තරම් සුදුසුකම් කොහෙන් අහුලා ගත්තේ දැයි විමසිය යුතුය.
කෙනකුගේ අධ්‍යාපන සහතිකවලින් ඔහු හෝ ඇය මනින්නට නොහැකිය. ඔහුගේ හෝ ඇයගේ දැනුම මැනිය හැක්කේ චරිතය මගිනි. ‘විද්‍යා දදානි විනයං’ යනුවෙන් සඳහනකි. එයින් කියැවෙන්නේ විද්‍යාවෙන් හෙවත් අධ්‍යාපනයෙන් ලබා දෙන්නේ විනය බවය. විනය නැති තැන ඉතිරි වෙන්නේ කොඩිවිනය වේ. තමන් අධ්‍යාපන කටයුතුවල නිරතවන විශ්වවිද්‍යාලය ද ගඳ ගැස්සූ මෙම සරසවි ඇදුරා ඔප්පු කර තිබෙන්නේ තමන් ගුරු වෘත්තියට කථීකාචාර්ය ධුරයකට සුදුසු නොවන බවය.
කහවත්ත, වැල්ලඳුර, වෙලේවත්ත ප්‍රදේශයේ තිදරු මවක ඝාතනය කර තිබුණේ ඉකුත්දාය. මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත්තේ එම මවගේ බාල දියණියයි. මෙම බාල දියණිය රජයේ සේවිකාවකි. උපාධිධාරිණියකි. එහෙත් ඇයට සිදු වූයේ දසමසක් කුස දරා ගත රුහිරු කිරි කර පොවා වැඩූ තම ආදරණීය මවගේ ඝාතනයට සැකපිට අධිකරණය ඉදිරිපිටට යාමටය.
අප රටක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කොතැනටදැයි මෙම සිදුවීම්වලින් පැහැදිලිය. මෙම අගාධයෙන් රට ගොඩ ගැනීමේ මහා ක්‍රියාන්විතයක් සිදුකළ යුතුය. එයට දැනුත් කල්යල් හරිය.
(***)