ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්වපාක්ෂික සමුළුව පසුගිය බදාදා (26) පැවැත්විණි. ජනාධිපති කාර්යාලයේ දී පැවති එම රැස්වීමේ දී ජනාධිපතිවරයාට අමතරව පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ නායකයන් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ද තම අදහස් ප්‍රකාශ කළ බව ද වාර්තා විය. ජනාධිපතිවරයා එහිදී තම ස්ථාවරය පැහැදිලි කරමින් පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීම තමාට තනිව කළ නොහැකි කාර්යයක් බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමූහිකව කැප වී ක්‍රියා කළ යුතු බවත් කියා සිටියේය.
මහත් බලාපොරොත්තු තබා ගනිමින් මේ සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබූවත් එම සමුළුවට විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වී සිටි දේශපාලන නායකයන් පසුව දැක් වූ අදහස් වලින් පෙනී යන්නේ සමුළුවේ අරමුණු ඉටුකර ගැනීම ඉතා වෙහෙසකාරී ව්‍යායාමයක් වනු ඇති බවය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සජබ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එකී සමුළුව කෙටිකාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවක් සඳහා ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක වන දෙයක් නොවන බවය. රජයේ යෝජනා සහ ස්ථාවරය ප්‍රකාශ නොකර විපක්ෂයේ අදහස් ඉල්ලීම නිරර්ථක බවද එහි සඳහන්ය. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ තමන් බලාපොරොත්තු වූ පරිදිම මේ සාකච්ඡාව අවසන් වූයේ කිසිම ප්‍රතිඵලයක් නොමැතිව බවය. මේ සමුළුවට නොපැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ සමුළුව තවත් සාකච්ඡාවක් පමණක් බව කියා තිබිණි.
ජාතික ගැටලුව සම්බන්ධ පළමු සර්ව පාක්ෂික සමුළුව 1984 ජනවාරි මාසයේදී කැඳවනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසිනි. මාස ගණනාවක් තුළ දෙවරක් ක්‍රියාත්මක වූ එම සමුළුවේ දී දෙපාර්ශ්වය අතර එකඟතා සඳහා සාකච්ඡා කළ යුතු යෝජනාවලියක් සකස් විය. උතුර සහ නැගෙනහිර සඳහා වෙනම පළාත් සභා ගොඩනැංවීම සම්බන්ධ යෝජනා ද එයට ඇතුළත්ව තිබිණි. කෙසේ වුවද මේ සාකච්ඡා සඳහා ශ්‍රීලනිපය සහභාගි වීමෙන් වැළකී සිටියේය.
ඉන්පසුව 1988දී ජනාධිපති ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස මහතා ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් පසු රටේ නිර්මාණය වූ අරාජික තත්ත්වය සම්බන්ධයෙන් 1989 සැප්තැම්බරයේ දී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූ අතර එයට පක්ෂ 22ක නියෝජිතයන් 90 දෙනකු සහභාගි වී සිටි බව ද සඳහන් වෙයි.
සර්ව පාක්ෂික සමුළු ඉතිහාසය සැකෙවින් මෙසේ වුවද මේ සමුළුවල ප්‍රධානම අරමුණක් වන ජාතික ගැටලුවට විසඳුමක් සොයා ගැනීම මේ වනතුරුද ඉටු වී නැත. රටක් වශයෙන් මේ ගැන අප කම්පාවට පත්විය යුත්තේ ජාතික ගැටලුවෙන් තවමත් රටම විඳවන බැවිනි.
මෙවර සර්ව පාක්ෂික සමුළුව යෝජනා කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කාලයේ සිට කැඳවූ සර්ව පාක්ෂික සමුළු පිළිබඳ දැනුමින් සන්නද්ධව සිටින නායකයෙකි. එහෙත් ඔහුගේ පක්ෂයට වත්මන් පාර්ලිමේන්තුව තුළ බලයක් නැත. ඇත්තේ එක් ආසනයක් බැවින් ජාතික ගැටලුව විසඳීමට නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ එකට එකතු විය යුතු බවට ඔහු දරන ස්ථාවරය නිවැරදිය. එහෙත් මේ එකතුව ගොඩනංවා ගැනීමට දේශපාලනමය වශයෙන්ද ජනාධිපතිවරයා දැඩි වෙහෙසක් ගෙන ක්‍රියා කළ යුතු වෙයි. මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිටින්නේ ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක බවය.
සර්ව පාක්ෂික සමුළුවේ තීරණාත්මක සාධකයක් වන සජබ සහ දෙමළ ජාතික සන්ධානය යන දෙපක්ෂයම ප්‍රකාශ කළේ පළාත් සභා ඡන්දය නොපැවැත්වීම බලය බෙදාහැරීම සම්බන්ධ තීරණයකට එළඹීමට ප්‍රධාන බාධකයක් වී ඇති බවයි. එම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අවධානය යොමුවීමකින් තොරව සර්ව පාක්ෂික සමුළුවේ ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු තබා ගැනීම මිරිඟුවක් පමණක් බවය.
(***)