මෙරට ඉතිහාසයේ විශාලතම මහජන නැගිටීම වශයෙන් හඳුන්වනු ලබන ජූලි 09 අරගලය තාවකාලිකව අවසන් විය. අරගලයේ මෙහෙයුම්කරුවන් ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඉල්ලා අස්වන තුරු ඔවුන්ගේ අරගලය එසේම ඉදිරියට යනු ඇත. කෙසේ වුවද එදිනම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යොමු කෙරුණු ලිපියකින් දැනුම් දී තිබුණේ ලබන බදාදා (13) තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කළ ප්‍රකාශයකින් කියැවුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩදෙමින් ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවය.
අප්‍රේල් 09 වැනිදා සිට ආරම්භ කෙරුණු ගෝඨා ගෝ හෝම් අරගලය පසුගිය සතිය වනවිට හඳුන්වනු ලැබුවේ නොනවතින අරගලයක් වශයෙනි. රටේ සිවුදෙසින් පැමිණි මහා ජනගඟක් කොළඹ නගරයට ගලා එන බවත් එහි ලොකුම ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම බවත් බුද්ධි තොරතුරු මගින් ජනාධිපතිවරයා නොදැන සිටියා නම් එය පුදුමයකි. පසුගිය මාස කිහිපය තිස්සේම මේ ඉල්ලීම කිරීමට ජනතාව පෙළඹුණේ දරාගත නොහැකි තරමේ පීඩනයකට ඔවුන්ට මුහුණදීමට සිදුවූ බැවිනි. එම කාලය පුරාම විවිධ අයුරින් කෙරුණු මේ ඉල්ලීමේදී ජනාධිපතිවරයා අත තිබුණේ විකල්ප දෙකක් පමණි. එයින් පළමුවැන්න ජනතාව පෙළන බරපතළ ගැටලුවලට යම් පමණක සහනයක් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමය. දෙවැන්න ධුරයෙන් ඉල්ලා අස්වීමය.
ජනාධිපතිවරයා විවිධ අයුරින් උත්සාහ කළත් ජනතාවගේ පීඩනය එන්න එන්න වැඩිවූවා මිස අඩුවූයේ නැත. තෙල් නැතිව පෝලිම්වල රස්තියාදු වීම පමණක් නොව අධික ජීවන බරද ආදායම් අහිමි වී යාමද හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවලට පත් වූ අතර එම දුෂ්කරතා සහ පෝලිම්වල ආතතිය පසුව ප්‍රබල ආවේගයක් බවට පත්විය. ගාලුමුවදොර අරගලයේ ඔළුගෙඩි සංඛ්‍යාව අඩුවීම අරගලය තුනී වී යාමක් වශයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සැලකුවා නම් එය බරපතළ වැරදීමක් බව මේ වනවිට ඔප්පු වී තිබේ. මැයි 09 වැනිදා සිදුවූ රටම ගිනිගත් සිද්ධියෙන් පසුව වුවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී ආණ්ඩුව වෙනස් වූ අවස්ථාවෙන් පසුව ජනාධිපතිවරයා සතුව රටේ ගැටලුවලට විසඳුම් නැති බව පැහැදිලි විය. ජනතාවගේ ඉවසීමේ සීමාව රතු කට්ට දක්වා පැමිණ අර්බුදය උග්‍ර වනවිට ජූලි 09 කොළඹට ජනගඟක් ගෙන්වා ගැනීමේ නොනවතින රැල්ල ආරම්භ විය.
නොනවතින රැල්ලට නායකත්වය දුන් විශාල පිරිසක් මේ වනවිට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලිය ගහ මන්දිරය අත්පත් කරගෙන සිටිති. එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවාසය රාත්‍රියේදී විරෝධතාකරුවන් පිරිසක් විසින් ගිනි තබනු ලැබීය. එය නිසැකවම ප්‍රචණ්ඩ ක්‍රියාවකි. උදෑසන කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසලදී නිරායුදව අරගලයේ යෙදුණු තරුණ තරුණියන් විශාල පිරිසක් රෝහල් ගත කෙරෙන තරමට අත තිබූ පොලුවලින් පහර දුන්, එසේම එදිනම රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස අසලදී තම රාජකාරිය ඉටුකරමින් සිටි සිරස මාධ්‍යවේදීන් කිහිප දෙනකුට කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව අමානුෂිකව පහර දුන් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය අග්‍රාමාත්‍යවරයාගේ නිවෙසට විරෝධතාකරුවන් කඩාපැන එයට ගිනි තබන තෙක් සිදුකළේ කුමක්ද යන්නද ප්‍රහේළිකාවකි. නිවෙස ගිනි තැබූ සාපරාධී ක්‍රියාවට හවුල් වූ සියලු දෙනා හැකි ඉක්මනින් නීතිය හමුවට පැමිණවීමට හෝ පොලිසිය ක්‍රියාකළ යුතු බව ද පෙන්වාදීමට කැමැත්තෙමු.
මේ පසුබිමේ ජනාධිපතිවරයාට ඉතිරිව ඇත්තේ ඊළඟ විකල්පය වන ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම පමණි. එහෙත් එයද සිදුවිය යුත්තේ රටේ පාලනය අරාජික නොවන ආකාරයටය. ජනතාව මහපාරට බැස ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට අරගල කළේ ඔවුන්ගේ පීඩනය නහයටත් උඩින් යාම හේතුවෙනි. මේ නිසා ජන අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවෙන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන හෝ ආණ්ඩුව ජනතාව තවදුරටත් කබලෙන් ලිපට තල්ලු කෙරෙන පාලනයක් නොවිය යුතුය. ජනතාව දැඩිව පෙළන පොදු ගැටලුවලින් කිහිපයකට හෝ විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් නව ආණ්ඩුව සතුවිය යුතුය.
එවැනි ආණ්ඩුවක් හදාගැනීමට නම් හදවතට සහ හැඟීම්වලට වඩා බුද්ධියට තැනක් දෙන පිරිසක් එකතු විය යුතුය. අන්තගාමී, දැඩි මතධාරී අදහස් දරමින් ඒවා මතම එල්බගෙන සිටින පිරිසකට වඩා ලොවේ පවතින ප්‍රවණතා හොඳින් හඳුනන ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගනිමින් රටේ අවශ්‍යතා ඉෂ්ට කරගත හැකි බුද්ධිමත් පිරිසකගේ දායකත්වය ලබා ගැනීමද අවශ්‍යය. මේ අරගලය මෙහෙය වූ තරුණ බුද්ධිමතුන්ගේ අදහස්වලට ඉහළ වටිනාකමක් ලබාගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කිරීම ද මෙහිදී වැදගත් වනු ඇත.
රටේ මෙතෙක් පැවැති දේශපාලන අර්බුදයෙන් සහ ආර්ථික කඩා වැටීමෙන් ගොඩඒමේ ක්‍රියාමාර්ගය තවම ආරම්භ වූවා පමණි. එම ක්‍රියාමාර්ගය ඉතා දීර්ඝ වූත් වෙහෙසකර වූත් ක්‍රියාදාමයකි. එය සාර්ථක කරගත හැක්කේ ජාත්‍යන්තරයට අභියෝග කිරීමෙන් නොව ඔවුන් සමඟ අවබෝධයකින් කටයුතු කිරීමෙන් පමණි. තවදුරටත් රටේ දේශපාලනික අස්ථාවරභාවයක් පැවතීම එයට ලොකුම බාධාවක් බව ද සඳහන් කළ යුතුය.
(***)