ස්වයං රැකියා සංගමයත් බඩගින්න දැනෙන පිරිසක්


මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දිය හැකිනම් පිටකොටුවේ ඇති වෙළඳසැල් විවෘත කිරීමට අවසර ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය සංවිධානය කළ විරෝධතාවකදී උද්ඝෝෂකයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමග උණුසුම්කාරි වාතාවරණයක් එතැන ඇතිවූ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ විරෝධතාකරුවන් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් මුහුණු ආවරණ පැළඳ මෙන්ම ආරක්ෂිත ඇඳුම් කට්ටලවලින්ද සැරසී සිටි බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. පොලිසිය පැමිණ උද්ඝෝෂණය නතර කරන ලෙසට දැනුම් දීමත් සමග උණුසුම් තත්ත්වය ඇතිවූ බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා දෙමසකට ආසන්නය. මෙම පරිසරය තුළ රටත් ජනතාවත් ඉමහත් පීඩාවට පත්ව සිටිති. විශේෂයෙන්ම දෛනික ආදායම් ලාභීහු එදා වේල සොයා ගැනීමටත් නොහැකි තරමට පීඩාවට පත්ව සිටිති. එය ලක්ෂ ගණනකි. තෝරාගත් පවුල් සඳහා රජය රුපියල් දෙදහසක් ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවන බව සත්‍යයකි. එමෙන්ම ස්වයං රැකියා කරමින්ද වෙළඳ ව්‍යාපාර ආපන ශාලා පවත්වාගෙන යමින්ද රටට බරක් නොවී ජීවත්වන අති විශාල පිරිසක් මේ රටේ ජීවත් වෙති. රට වැසුණු ගමන් ඔවුන්ගේ ආර්ථිකය බිංදුවටම වැටේ.

එක්සත් ජාතික ස්වයං රැකියා සංවිධානය උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටින්නේ මත්පැන්හල් විවෘත කිරීමට අවසර දෙන්නේ නම් පිටකොටුවේ තමන්ගේ වෙළඳසල් විවෘත කිරීමට අවසර නොදෙන්නේ මන්ද යන්නය. මේ මිනිස් වේදනාව සාධාරණය. එහෙයින් ඔවුන් කුදලාගෙන යාමට පෙර ප්‍රශ්නය දෙස සානුකම්පිතව බැලිය යුතුව තිබිණි. ‘‘නීතිය යනු සීලයක් නොවේ’’ යන්න ශිෂ්ට සම්පන්න ජනයා පිළිගන්නා යථාර්ථයකි.

‘තර්කයෙන්, තර්කය ජයගත හැකි වුවද තර්කයෙන් සත්‍ය ජයගත නොහැකිය’ යන්නද ජන සම්භාවනාවට පාත්‍රව ඇති කියමනකි. කොටුව දුම්රිය පොළ ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයට තර්කයක් තිබේ. ඔවුන් කියන්නේ බාර් විවෘත කිරීමට අවසර දෙන්නේ නම් තමන්ගේ වෙළඳසල් විවෘත කිරීමට අවසර නොදෙන්නේ මන්ද යන්නය. බාර් විවෘත කිරීමේ අවසරයද අවජාතක දරුවකු බවට පත්ව තිබේ. ඒ සඳහා අවසර දුන් අයකු නිල වශයෙන් දක්නට නැත. සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ තමන් එබඳු අවසරයක් නොදුන් බවය. මැති ඇමැතිවරුන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේද ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.

බාර් විවෘත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ‘බාර් විවාත කිරීමට අවසර දෙන්නට ඇත්තේ බූතයකු’ බවය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ‘මත්පැන් නිෂ්පාදනාගාරවල වැඩි අයිතිය ඇමැතිවරුන්ට බවත් බාර්වල වැඩි අයිතිය මන්ත්‍රීවරුන්ට’ බවත්ය.

කෙසේ වෙතත් එක් කරුණක් පැහැදිලිය. බාර් වැසීමෙන් රජයට දිනකට කෝටි ප්‍රකෝටි ගණනින් මුදලක් අහිමි වන බවය. රජයට ප්‍රධාන වශයෙන්ම ආදායම් ලැබෙන මාර්ගයක් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවය. අනෙකුත් ප්‍රධාන ආදායම් මාර්ගවන සංචාරක ව්‍යාපාරය, විදෙස්ගත ශ්‍රමිකයන්, රේගුව ආදී මාර්ග වැසී ගොසිනි. මුදල් නොමැතිව රටක් ඉදිරියට යා නොහැකිය. රජයේ වියදම් පියවා ගැනීමට තරම් හෝ මුදලක් මහා භාණ්ඩාගාරය සතුව නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වසන් කළ නොහැකි යථාර්ථය එයය. මෙම කාරණා හා අවශේෂ කාරණා එකට පටලවා ගත යුතු නැත.

රට වසා තිබෙන්නේ සංචරණ සීමා අවම කිරීමට විනා අන් යමකට නොවේ. එහෙත් රට දෙස බැලීමේදී එවැන්නක් ක්‍රියාත්මක වන්නේ දැයි යමකුට සාධාරණ ප්‍රශ්නයක් මතු කළ හැකිය. එක් අතකින් පෙනෙන්නේ පොදු ප්‍රවාහනය පමණක් නතරවී සියල්ල සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවය. ඇතැමුන් පවසන්නේ රටේ නීතිය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවය. එහෙත් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක බියක් සමාජය සතුව තිබිණි. එහෙත් පොදු ප්‍රවාහනය පමණක් නතරවී සියල්ල පෙර පරිදි සිදුවන විට ඇඳිරි නීතිය සම්බන්ධ නීතියද දෙපළු වී යයි.

සියලු කාරණා දෙස බැලීමේදී කොටුව දුම්රියපොළ ඉදිරිපිට සංවිධානය කෙරුණු උද්ඝෝෂණය සාධාරණය. යුක්තිගරුකය. ඔවුන් තම දරුවන්ගේ වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවා දමන්නේ කෙසේදැයි පසුවන්නේ භීතියෙනි. පෞද්ගලික බස් රථවල හිමිකරුවන් මෙන්ම බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු සමාජයේ සාතිශය බහුතරයකට මෙම ප්‍රශ්නය තිබේ. එම ප්‍රශ්නය නොමැති ‘මාස්පඩි’ ලබන්නන්ට නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කළ හැකි වුවද මෙම මිනිස් වේදනාවේ යථාර්ථය හඳුනා ගත යුතුය. බලධාරීන්ගේ අවධානය නොපමාව නියත වශයෙන්ම මේ සම්බන්ධයෙන් යොමුවිය යුතුය.

(***)