සාමකාමීව උද්ඝෝෂණ කරමු.. ඒත් පොදු දේපොළ වනසනු එපා


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවෙස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අවුරා නැගීසිටි දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයෝ පිරිසක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කළහ. ඒ ඉකුත් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේදීය. පොලිසිය, කැරලි මර්දන බළකා, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ ජනාධිපතිවරයාගේ නිවෙසට උද්ඝෝෂකයන්ට පැමිණීමට නොහැකි පරිදි ආරක්ෂාව තර කර තිබුණද පළමු මාර්ග බාධකය බිඳ උද්ඝෝෂකයෝ ඉදිරියට ගියහ. තත්ත්වය සමනය කිරීම සඳහා ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණු අතර ආවේගශීලී උද්ඝෝෂකයෝ තාප්ප බිම හෙලා එහි ගල් රැගෙන ආරක්ෂක අංශවලට පහර දුන්හ. තත්ත්වය මැඩලීමට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතියද පැනවිණි. පොලිස් දෙපාර්තමේන්තුවට අයත් බස් රථයක්, ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බස් රථයක්, පොලිස් ජීප් රථයක් හා යතුරු පැදි දෙකක් උද්ඝෝෂකයන් අතින් ගිනිබත් විය.

අළු යට ගිනි පුපුරු දැල්වෙමින් තිබිණි. එහෙත් වගකිව යුත්තෝ නොපෙනුණ දෙනෙතින් දවස් ගෙවා දැමූහ. සාපිපාසිත ජනී ජනයාට ඉන්ධන පෝලිම්වලද, ගෑස් පෝලිම්වලද, භූමිතෙල් පෝලිම්වලද දවස් ගණන් රස්තියාදු වීමට සිදුවිය. අහස උසට ඉහළ ගිය බඩු මිල හමුවේ සකල ජනී ජනයා හෙම්බත්ව සිටිති. ඒ අතරවාරයේ දිනකට පැය 13ක් විදුලිය කපන රටක් නිර්මාණය විය. මෙම ශාපලත් පරිසරය මැද ජනයා පසුවන්නේ අසහනයෙන් හා දැඩි චිත්ත වේගයෙනි. මෙම සැහැසි ඉරණමෙන් මිදිය හැකි දිනක් හෝ සිතාගැනීමට නොහැකි වීම තුළ ‘‘මෙම ප්‍රශ්න තියෙන්නේ තව ටික දවසයි’’ යනුවෙන් වගකිවයුත්තන් කරන ප්‍රකාශ හරසුන් නීච වාගාලාප බවට පරිවර්තනය විය.

අළු යට ගිනි පුපුරු දැල්වෙමින් තිබුණේ මෙම පරිසරය තුළය. එය කිනම් හෝ මොහොතක පුපුරා යා හැකිව තිබුණ බව වගකිව යුත්තන් තේරුම් ගත යුතුව තිබිණි. එහෙත් ඒ සම්බන්ධයෙන් සාධාරණ මැදිහත්වීමක් හෝ නොවුණි. අසංවිධානාත්මක උද්ඝෝෂණ ප්‍රචණ්ඩ වාසුළි මෙන් ඇතිවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බලධාරීන්ට තක්සේරුවක් තිබිය යුතුය. අර්බුද වගුරක කැලතෙන ජනී ජනයාගේ දුක් වේදනාවන්ට තමන් සංවේදී බව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුව තිබිණි. එහෙත් ඒ කිසිවක්ම නොවීමේ තාර්කික ප්‍රතිඵලයක් ලෙස දාහයත් දූවිල්ලත් පිරීගිය වීදි මත සටන් බිම් ඉදිවිය. අවිරෝධීව කරබාගෙන නොසිටින බව ජනයාට ඔප්පු කිරීමට ඇතිවන වුවමනාව සම්බන්ධයෙන් බලධාරීන් සංවේදී විය යුතුව තිබිණි.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයකි. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පරමාධිපත්‍යයේ බලය පවරා ඇත්තේ මහ ජනයාටය. එම මහජනයාට කැමති ආගමක් ඇදහීමේ කැමති කැමති දේශපාලන මතකයක් දැරීමේ අයිතිය මෙන්ම ලේඛනයේ හා භාෂණයේ නිදහසද හිමිය. එම මනුෂ්‍ය ගරුත්වයට නිගරු වන්නේ නම් එයට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ සටන් කිරීමේ අයිතියද ජනතාව සතුය. එම ශුද්ධ වූ මෙන්ම අනුල්ලංඝනීය අයිතියකි.

ප්‍රජාතන්ත්‍රවාදයට අයත් මේ අයිතීන් භුක්ති විඳිය යුත්තේද ප්‍රජාතන්ත්‍රවාදයට යටත්වය. මිරිහානේ උද්ඝෝෂණයේදී එකී සීමාවන් පුපුරා ගියේය. උද්ඝෝෂකයන් අතින් අළු බවට පත්වූයේ මහජන දේපොළය. මහජන දේපොළ සහ මහජනයා සතු දේපොළය. එම දේපොළ මහජනයා අතින්ම විනාශ වන්නේ නම් එය ඛේදවාචකයකි. උද්ඝෝෂණයකදී අවශ්‍යයෙන්ම තිබිය යුතු ගුණාංග සමුදායකි. නිවැරැදි උපාය මාර්ගික ක්‍රමෝපාය තේරීම, සංවිධාන විනය හා අවශ්‍ය තීන්දු නිසි පරිදි ගැනීම ඉන් ප්‍රධානය. මෙම ගුණාංගවලින් පිරිහී කරනු ලබන උද්ඝෝෂණ කිසිවිටෙක හෝ ආරක්ෂිත ප්‍රතිඵල අත්කර නොදේ. නිවැරදිවම කියවාගත යුතු පාඩම එයය.

මහජන දේපොළ විනාශ කළ විට ඒවා යථා තත්ත්වයට පත් කිරීම හෝ අලුතෙන් මිලදී ගැනීම පාලකයන්ගේ බැංකු ගිණුමෙන් සිදු නොවන්නකි. ඒවාට වියදම් කරන්නේද මහජනයාගේ මුදල්ය. දූ දරුවන්ට ඉගෙනීමට වෙන් කළ හැකි මුදල්ය. ගමේ නගරයේ අඩුපාඩු සකස් කර ගැනීමට ඇති මුදල්ය. එහෙම බලනවිට මහජන දේපොළ විනාශ කිරීමේ අලාභය එක්වන්නේ මහජනයාගේ ගිණුමටය.

සටන්කාමී වීම හා අවේගශීලී වීම එකක් නොව දෙකකි. ආවේගශීලී වීමෙන් අත්පත් වන්නේ පරාජය හා විනාශය පමණි. ඒ සම්බන්ධ අපමණ අත්දැකීම් ඉතිහාසය පුරා සටහන්ව තිබේ. රටේ අවුල් - වියවුල් බවක් ඇතිවීමෙන් ප්‍රශ්නවලට ගොදුරු වන්නේද මහජනයාමය. අවසානයේ විනාශ වන්නේ ඔබටත් ඔබේ දූ පුතුන්ටත් ජීවත්වීමට ඇති රටය. රට හා බැඳුනු නැති ගමනකට කිසිවකුට අයිතියක් නැත.

(***)