රටක සාරධර්ම නාය යෑම යනු එම රටේ ජනයාගේ සාමූහික දිවි පෙවතට අදාළ අධ්‍යාත්මයේ වැහැරීම වේ. ආධ්‍යාත්මය වැහැරී ගිය පසු රැකගැනීමට කිසිවක් ඉතිරි නොවන බව ඒකාන්ත වශයෙන්ම ඔප්පු වූ සත්‍යයකි. රට ගමන් කරමින් තිබෙන්නේ එතැනටද යන්න බැහැර නොකළ යුතු ගැඹුරින් සංවාදයට බඳුන් කළ යුතු ප්‍රශ්නයකි.
ශිෂ්ට සම්පන්න ජනයා හිස් මුදුනෙන් පිළිගෙන අදහන කියමනක් තිබේ. එනම් ලොව හොඳම දෙය දරුවන්ට යන්නය. එහෙත් අප සමාජය එසේ නොවන බවට පැහැදිලි වන සිදුවීම් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වේ. එම සිදුවීම් වලින් ඔප්පු වෙමින් තිබෙන්නේ ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට අප දරුවන් පත්ව ඇති බවය. ඒ බව පසක් කරන පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ අරණායක, ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ මව ඇතුළු කාන්තාවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව අරණායක පොලීසිය පවසන බවය.
හය හැවිරිදි දරුවාට පහර දෙමින් මිදුලේ ඇදනෙ යන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එසේ පහර දෙමින් ගෙතුළට රැගෙන ගොස් පහර දෙන හඬත් දරුවාගේ මර ළතෝනියත් එම විඩියෝවෙහි අන්තර්ගතය. දරුවාට පහර දෙමින් මිදුලේ ඇදගෙන යන්නේ එම දරුවාගේ මිත්තනියන් දෙදෙනා බවත් එසේ පහර දෙන ස්ථානයේ දරවාගේ මවත් තවත් කාන්තාවකද බලා සිටින අයුරු දර්ශනය වේ. දස මසක් කුස දරා ගත රුහිරු කිරි කර පොවා හැදූ වැඩූ දරුවාට එසේ ම්ලේච්ඡ ලෙස පහර දෙමින් වදබන්ධනයට ලක් කිරීම මවකට බලා සිටිය හැකි නම් සැබැවින්ම ඇය මවක් විය නොහැකිය. එහෙත් මහපොළොව නුහුලන එබඳු සිදුවීම් අද සමාජය තුළ සාමාන්‍ය කරණය වී තිබේ. බරපතළම ඛේදවාචකය එයය.
ළමා සිතක් හඳුනා ගැනීමට ළමා මනෝ විද්‍යාව හැදෑරිය යුතු නැත. එය සාමාන්‍ය මිනිස් සිතකට කළ හැකි දෙයකි. එයින් කියැවෙන්නේ හය හැවිරිදි දරුවාට පහර දුන් මිත්තනියන් දෙදෙනාට හා මව ඇතුළු අනික් කාන්තාව ‘‘සාමාන්‍ය මිනිසුන්’’ නොවන බවද? පැහැදිලිවම එය එසේමය. ප්‍රශ්නය වන්නේ ‘‘අසාමාන්‍ය මිනිසුන්’’ සමාජය තුළ බහුල වීමය.
‘‘පුත්තා වත්ථු මනුස්සානම්’’ යනුවෙන් බුදු පියාණෝ වදාළහ. එයින් කියැවෙන්නේ මිනිසා සන්තක වටිනාම වස්තුව දරුවන්’’ බවය. එහෙත් අද දරුවා ජීවත් වන්නේ එබඳු බුදු වදන් බහුමානයට පාත්‍රවන සුමට පරිසරයක නොවන බවක් සමාජ හැසිරීම් දෙස බලනවිට පෙනේ. වැලිඔය ප්‍රදේශයේදී කුකුල් චමින්ද නම් පියා හය හැවිරිදි දරුවාට පහර දෙන ආකාරයද සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය. එය දුටු සියල්ලන්ම පාහේ අපමණ කම්පාවට පත්වූ බවද නිසැකය. එහෙත් එම කම්පාව දරුවන්ට අදාළව පොදුවේ යොදා නොගැනීමේ තත්වයක් තිබේ. එයින් පැහැදිලි වන්නේ එම කම්පාව හදවතේ ගැඹුරුම තැනින් නිපැදුණ අව්‍යාජ කම්පාවක් නොවන බවය. එබඳු පන්නයේම සිදුවීම් යළි යළිත් වාර්තා වීමෙන් පැහැදිලි වන්නේ එයය.
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ මොනරාගල ප්‍රදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රැකවරණ ලබමින් සිටි පාසල් දැරියන් තිදෙනකු එම මධ්‍යස්ථානයේ ප්‍රධාන පාලිකාව නිතර පහර දී හිංසා කරන්නේ යැයි කියමින් එම ස්ථානයෙන් පලාවිත් ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී සොයා ගත් බවය. ළමා නිවාසවල දැරියන් ලිංගික අවශ්‍යතා සඳහා පිටස්තරයන්ට අලෙවි කළ සිදුවීම්ද, වැඩිවියට පත් ගැහැනු දරුවන් සිටින ළමා නිවාසයක නාන කාමරවල සිටියදී සීසීටීවී කැමරා සවිකර තිබුණු බවට පළවූ පුවත්ද මෑත කාලයේ නිතර අසන්නට දකින්නට ලැබුණු දේවල්ය. මේ සිද්ධින් කියාපාන්නේ දරුවන්ගේ ආරක්ෂාව, පෝෂණය සම්බන්ධයෙන් සමාජය මීට වඩා වගකීම්සහගත විය යුතු බව නොවේදැයි අපි සමස්ත සමාජයෙන්ම ප්‍රශ්න කරමු.
(***)