සැබෑ වෙනසකට හොඳ ප්‍රවේශයක්


ජාතික ආර්ථීක ප්‍රතිපත්තියක් ඔස්සේ රටත් ජාතියත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම අතුරු අයවැය වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. බිඳ වැටී කෑලි කැඩී ගොස් තිබෙන රටේ ආරථික තත්ත්වය හැකි පමණින් ඉහළට ඔසවාගෙන ආර්ථීක වර්ධන වේගය ස්ථාවර මට්ටමකට ගෙන ඒම මෙම අයවැයේ මූලික තේමාවල එක් ඉලක්කයකි. රටේ බරපතළ ගැටලු‍වක් වී තිබෙන දූෂණයට ඇති අවස්ථා අවම කිරීමට මෙන්ම විනිවිදභාවය වැඩි කිරීමටද තාක්ෂණය මුසු කළ පද්ධති හඳුන්වා දීම ප්‍රවර්ධනය කිරීමත් ජනාධිපතිවරයාගේ තවත් වැදගත් යෝජනාවක් වශයෙන් හඳුන්වා දිය හැක. දූෂණය රජකරන විට ආරථික ප්‍රතිපත්ති පෑල දොරින් පළා යන බව නියතයක් වීම ඊට හේතුවය.

මෙම අයවැය මෙතෙක් කාලයක් රටේ ඉදිරිපත් වූ සම්ප්‍රදායික අයවැයවලට වඩා වෙනස් මගක් ගෙන තිබේ. සාමාන්‍යයෙන් ඉදිරිපත් වන අයවැයවලදී සිදුකෙරෙන කතා බොහෝ අවස්ථාවලදී දේශපාලන පම්පෝරිවලින් සමන්විත, පැවති රජයේ වැඩපිළිවෙළ පට්ට ගසන එසේම ජනතාවගේ සිත් තාවකාලිකව ප්‍රමෝදයට පත් කරවන සිත නිවන යෝජනාවලින්ද සමන්විත වෙයි. ඒ අතරේ බදු වැඩිකර වම් අතින් දෙන දේ දකුණු අතින් ආපසු ගන්නා ක්‍රමයේ අයවැයද ඉදිරිපත් වී තිබේ. එසේම සංවර්ධන යෝජනා රැගත් අයවැයද ඉදිරිපත්ව තිබෙන අතර රටේ ආදායම සහ වියදම අතර පරතරය විදෙස් ණය මගින් පුරවා දැමීමද පුරුද්දක්ව තිබිණි. මේ බොහොමයක් අයවැය කතා සංඛ්‍යාලේඛන විජ්ජා පෙන්වීම්වලට සීමා වී තිබූ බවද සඳහන් කළ යුතුය.

එහෙත් මෙවර ඉදිරිපත්ව තිබෙන්නේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඒ සඳහා ක්‍රම සහ විධි හඳුන්වා දෙන අයවැයකි. රටේ පවතින ආර්ථිකයේ සැබෑ තත්ත්වය ඉදිරිපත් කිරීමෙන් නොනැවතී එකී බරපතළ දුෂ්කරතාවලින් ගොඩ ඒමට යොදා ගත හැකි ක්‍රමෝපායන්ද විස්තර කර දී තිබේ. එය කාටත් තේරුම් ගතහැකි සරල ආකාරයට ඉදිරිපත් කර තිබීමද විශේෂයකි. මෙය සැබෑ වෙනසකි. යහපත් ප්‍රවේශයකි.

ගෙවී ගිය දශක 07ට වඩා වෙනස් මගක රට මින් ඉදිරියට යා යුතු බව අයවැයෙන් තදින්ම පෙන්වා දී තිබේ. නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජන වන ලෝකයේ නව ආර්ථික ප්‍රවණතා හඳුනා ගනිමින් සහ ඒවා ක්‍රියාවේ යෙදවීමෙන් සාර්ථකත්වයට පත් වූ රටවල් බොහොමයක් විසින් අනුගමනය කරන ලද ලිබරල් ආර්ථිකයක අවශ්‍යතාව මෙමගින් ඉස්මතු කර තිබේ. සැබෑ ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන සටන්පාඨවල ද්වේශසහගත ගොදුරු බවට පත්වීමේ ආදීනව අපි අත්දකිමින් සිටිමු. බංග්ලාදේශය වැනි රටකින් ණය ඉල්ලීමට තරම් දරුණු ආර්ථික අගාධයකට රට ඇද වැටුණත් තවමත් ඇතැම් දේශපාලන නායකයන් මේ සත්‍යය අවබෝධ කරගෙන නැත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම අතුරු අයවැය ඉදිරිපත් කරමින් පැහැදිලිව රටට හඬගා කියන්නේ දැන්වත් සියලු‍දෙනා වෙනස් විය යුතු බවය. ආර්ථිකය වර්ධනය කර ගනිමින් රට දියුණු කර ගැනීමට නම් මෙතෙක් දැරූ පටු ආකල්පවලින් මිදී අලු‍ත් ලෝකයට රට විවෘත කළ යුතු බව ඔහු පැහැදිලිව පෙන්වා දී තිබේ. මෙහිදී වඩාත් කැපීපෙනෙන යෝජනා කිහිපයක් ගෙනහැර දැක්වීම වැදගත් යැයි අපි සිතමු.

ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම්, ජාතික ආර්ථිකයේ විශාලම බරක් වන පාඩු ලබන රාජ්‍ය ආයතනවල එම පාඩුව අවම කර ගැනීම සඳහා පෞද්ගලික අංශ සහාය ලබාගැනීම, උසස් අධ්‍යාපනයට පෞද්ගලික ආයෝජන සම්බන්ධ කර ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශාඛා ඇති කිරීම, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර බලශක්ති උත්පාදන පිරිවැය අඩු කරමින් පුනර්ජනනීය ප්‍රභව පුළුල් කිරීමට පහසුකම් ලබාදීම, දේශීය සහ විදේශීය ආයෝජන සඳහා සුදුසු ඉඩම් පහසුකම් ලබාදීම, දුම්රිය සේවයේ දියුණුවට පෞද්ගලික අංශ සහාය ගැනීම, එහි ආරම්භය සඳහා කැලණි වැලි දුම්රිය සේවාව තරගකාරී ආයෝජකයන්ට විවෘත කිරීම ද සැලකිය හැක. එසේම අපනයන වර්ධන ගිවිසුම් සඳහා උපාය මාර්ග සකස් කිරීමත් හැකි ඉක්මනින් සංචාරක ව්‍යාපාරය යථාතත්ත්වයට පත්කර ගැනීමත් යෝජනා අතර වෙයි.

බැලූ බැල්මට මේ යෝජනා කිහිපය පමණක් බඩගොස්තරවාදී දේශපාලන කණ්ඩායම්වලට සහ ඔවුන් විසින් මෙහෙයවනු ලබන වෘත්තීය සමිතිවලට ඉතා බලවත් සටන්පාඨ ගණනාවක් නිර්මාණය කරදී තිබේ. ඒවා යොදාගෙන රට කෑලිවලට කැඩීම, ජාතික සම්පත් විකුණාගෙන කෑම, උපාධි කඩ ඇරීම, ජනතාවගේ සම්පත් පෞද්ගලීකරණය කර රට උගසට තැබීම වැනි ඇඟේ ලේ රත්කරන සටන්පාඨ අවශ්‍ය තරමක් හදාගෙන උගුර ලේ රහ වනතුරු කෑගැසිය හැක. එහෙත් එයින් රටට සිදුවන යහපතක් නැති බව තේරුම් ගැනීමට පසුගිය දශක කිහිපයේදී ලොවේ සෙසු රටවල් ඉදිරියට යද්දී අපේ රට බිංදුවට වැටී තිබීම පමණක් ප්‍රමාණවත්ය. ආත්මාර්ථකාමී මජර දේශපාලනයට දැන්වත් තිත නොතැබුවහොත් රටට සිදුවිය හැකි විනාශය ගණන් බැලීමටවත් රටක් ඉතිරි නොවනු ඇත.

රට වෙනස් විය යුතු බවට වන ඉල්ලීම් තිබීම පමණක් ප්‍රමාණවත් නැත. ඒවා ක්‍රියාවේ යෙදවීමේදී අවශ්‍ය සහායද ජනතාවගෙන් ලැබිය යුතුය. පැරණි හණමිටි මතවාදවල එල්ලී සිටිනවාට වඩා පරිවර්තන යුගයක පෙරමුණ ගැනීම ජනතාවගේම යහපතට හේතුවනු ඇත.

(***)