උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය අදය. මෝහාන්ධකාරයේ ගිලී අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට ලක්ව සසර කතරේ අතරමංව සිටින සකල සත්වයන්ට විමුක්තියේ මග ප්‍රඥාවේ ඇසින් විවර කළ අසමසම ශාස්තෘවරයාණන්ගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කෙරෙන අසිරිමත් වෙසක් මංගල්‍යයට අපමණ සැදැහැ සිතෙන් එක්වන බොදුනු - නොබොදුනු එකී ජනයා සමග ලංකාදීපය ද මෙසේ අත්වැල් බැඳ ගනී.
වෙසක් උත්සවය යනු සකල ලෝකවාසී බෞද්ධ ජනයාගේ ප්‍රධානතම ජාතික ආගමික උත්සවය වේ. ගසක් යට ඉපද, ගසක් යට බුදුවී ගසක් යට පිරිනිවන් පා වදාළ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ දුක, දුකට හේතුව, දුකින් මිදීම හා එම දුකෙන් මිදීමේ මාර්ගය ලෝකයාට දේශනා කළහ. එම මාර්ගයේ ගමන් කළ හැකි වන්නේ නුවණැතියන්ට පමණක් බව ද බුද්ධ දේශනාවේ සඳහන්ය.
මිනිසා ඇතුළු සියලු සත්වයන්ට ඇවැසි වන්නේ දුකෙන් මිදීමටය. එහෙත් එය යථාර්ථයක් වශයෙන් අවබෝධ කරගත යුතුය. බුදු රජාණන් වහන්සේගේ දේශනාවට අනුව ලෝකය පිහිටා තිබෙන්නේ දුක මතය. ‘‘දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ’’ යනුවෙන් දක්වා තිබෙන්නේ එයය. ලෝකය පිහිටා තිබෙන්නේ දුක මත නම් එම ලෝකයෙන් උරුම වන්නේ ද දුක පමණි. ගස කොහොඹ නම් එහි කොළයේ අඩංගු රසය තිත්ත රසම වේ. දුක ද එසේමය. බුදු දහම වඩාත් සුවිශේෂි වන්නේ ‘‘ජීවිතය දුකය, ලෝකය දුකය’’ යනුවෙන් දුකම අවධාරණය නොකර එම දුකෙන් මිදීමේ මාර්ගය ද නිවැරැදිව පෙන්වා දී තිබීමය. එම මාර්ගය වැටී ඇත්තේ මැඳුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේය.
ජීවිතයට අදාළව ගැටලු නිර්මාණය වීමටත් රට තුළ හා ලෝකය තුළ ගැටලු ඇතිවීමටත් ප්‍රධාන හේතුව වන්නේ මැදුම් පිළිවෙතට පිටුපා කටයුතු කිරීමය. අපි මිනිසුන් වශයෙන් අවම සම්පත්වලින් උපරිම සම්පත් අපේක්ෂා කරන්නෝ වෙමු. එහෙත් එය කළ නොහැකිය. ප්‍රතිඵලය වන්නේ සිත දොම්නසින් පිරීමය. ඉච්ඡාභංගත්වයට පත්වීමය. එහි ඊළඟ තාර්කික පියවර වන්නේ බලහත්කාරයෙන් හෝ ඒවා අත්පත් කර ගැනීමට පෙළඹීමය. මහ පොළොව නුහුලන අපරාධ සිදුවන්නේත් මහා යුද ගැටුම් ඇවිළී යන්නෙත් ඒ අනුවය.
බුදු රජාණන් වහන්සේ ඉතා පැහැදිළිව පෙන්වා දෙනු ලැබුවේ ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් කිසිදා විමුක්තිය අත්පත් කරගත නොහැකි බවය. සැනසීම ලබාගත නොහැකි බවය. ඒ වෙනුවට විපත්තිය, පරාජය සහ විනාශය පමණක් උරුමවන බවය. මේ බව වටහා ගැනීමට නුවණ අවැසි වේ.
‘‘මනං උච්ඡාථීති මනුස්සා’’ යනුවෙන් බුදු පියාණෝ දේශනා කළහ. එයින් කියැවෙන්නේ ‘‘මනස උසස් නිසා මිනිසා යනුවෙන් හඳුන්වන’’ බවය. එයින් කියැවෙන්නේ මනස උසස් තත්වයට පත් කළ හැකි බවය. සමාජයේ ඇතැමකුට තමන්ට උසස් මනසක් තිබෙන බව වටහා ගැනීමට නොහැකිවී තිබේ. සමාජය දිනෙන් දින පරිහානියේ පතුළ කරා ගමන් කරමින් තිබෙන්නේ එහෙයිනි.
සිතෙහි සාමාන්‍ය ස්වරූපය නම් වැරැදි දෙය, පාපි දෙය, අකුසලය කිරීමෙන් පහසුවෙන් තෘප්තිමත් වීමය. එමගින් සිත ඉවතට ගෙන හරි දෙය, යහපත් දෙය, කුසලය කිරීමෙන් තෘප්තිමත් බවට පරිවර්තනය කර ගැනීම මනසේ උසස් බව වේ.
වෙසක් මංගල්‍යය අතිශයින්ම වැදගත් වන්නේ මිනිස් සිත එමගට යොමු කරවීමට එය මනා පිටුබලයක් වන හෙයිනි. අප සමාජය වෙසක් මංගල්‍යයෙන් එම ඉලක්කය සපුරාගත යුතුය. මුළු මිනිස් සමාජයම ආධ්‍යාත්මික බැඳීමෙන් එම අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට උත්සහ කළ යුතුය.
වෙසක් මංගල්‍යය වාර්ෂික ලිත් සැමරුමෙන් බැහැර විය යුතුය. බොහෝ විට සිදුවන්නේ එයය. වෙසක් සතිය නිමාවීමත් සමග අප බොහෝ දෙනකු පරණ පුරුදු ජීවිතයට යොමු වන්නේ වෙසක් උත්සවය කැලැන්ඩරයෙහි සඳහන්ව තිබෙන නිසා එය සමරන හෙයිනි. එය එසේ නොවී බෞද්ධකම, මනුෂ්‍යකම මහෝඝයක් රළ ගසන මහා පින්කමක් බවට වෙසක් මංගල්‍යය පත්විය යුතුය. ඒ වෙනුවෙන් බොදුනු - නොබොදුනු සකල ජනී ජනයා නොමසුරුව අත්වැල් බැඳගත යුතුය යන සාදර සමාදර ආරාධනය ලංකාදීප පුවත්පතෙනි.
(***)