පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් අතර ගැටුම් ඇති වීම් වාර්තාවීමෙන් සමාජයේ ඇති කරන්නේ ප්‍රබල කම්පනයකි. එය පිහි ඇනුම් දක්වා වර්ධනය වීම එකී කම්පනය තවදුරටත් තීව්‍ර කරයි. එවැනි සිදුවීම් සිසු විනය සම්බන්ධ ප්‍රබල ගැටලුවක් වන්නා සේම සමස්තයක් වශයෙන් රටේම පවතින තත්වයේ පිළිබිඹුවක් වශයෙන්ද නිර්වචනය කළ හැකිය.
ශිෂ්‍යයකුගේ වරදක් පෙන්වා දීම පිහියෙන් අනින තරම් හේතුවක් වන්නේ කෙසේ ද යන්න තෝරා බේරා ගැනීම පවා අපහසුය. අපට මේ විස්තරය ගෙනහැර දැක්වීමට සිදු වූයේ පුත්තලම නගරයේ පසුගියදා ඇතිවූ සිද්ධියක් හේතුවෙනි. එහිදී මේ සිද්ධිය හටගෙන තිබුණේ පුත්තලම ප්‍රධාන පෙළේ විදුහලක ශිෂ්‍යයකු එම විදුහලේම ගුරුවරයකුට පිහියෙන් ඇන තුවාල සිදු කිරීමකි. පහරකෑ ගුරුවරයා රෝහල්ගත කරනු ලැබූ බවත්, ඔහුගේ තත්වය බරපතළ නොවන බවත් සඳහන් වීම කාගේත් සැනසුමට හේතුවකි. එහෙත්, තුවාලය බරපතළ නොවූවත්, පිහි පහර ඔහුගේ උදර ප්‍රදේශය තුළ අඟල් 2ක් පමණ ඇතුළට කාවැදී තිබූ බව සඳහන්ය. එයින් හැඟී යන්නේ, සිසුවා මේ පිහි පහර ගුරුවරයා බිය ගැන්වීමට නොව ඔහුට තුවාලයක් සිදු කිරීමේ චේතනාවෙන්ම සිදු කර ඇති බවකි.
ගුරුවරයකු ශිෂ්‍යයකුගේ වරදක් දුටු විට එය පෙන්වා දිය යුතුය. එය නිවැරැදි කිරීමට පියවර ගත යුතුය. ගුරුවරුන් සිටින්නේ අධ්‍යාපනය ලබා දීමට පමණක් නොවේ. සිසුන්ගේ චරිතය, විනය හැඩගැස්වීම ද ගුරුවරුන්ගේ වගකීමකි. අදාළ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයා එම විදුහලේම උසස් පෙළ ශිෂ්‍යයකු බවත්, ගුරුවරයා එහි ගණිත ගුරුවරයා මෙන්ම විනය භාර ආචාර්යවරයා බවත් සඳහන්ය. මේ සිද්ධියට හේතුව සිසුවාගේ කොණ්ඩය පිළිබඳ කළ විමසීමක් බවත්, එයට උරණ වූ සිසුවා එක් වරම තමන් සතුව තිබූ පිහියක් එළියට ගෙන ගුරුවරයාට ඇන තිබෙන බවත් කියැවෙයි. සිද්ධිය සම්බන්ධ සියලු විස්තර දැනගත හැකි වන්නේ පාසලත්, පොලිසියත් මගින් කරන පරීක්ෂණවලින් පසුව බව ද මෙහිදී සඳහන් කළ යුතුය.
එහෙත්, මෙහිදී පෙන්වා දිය යුතු වන්නේ, අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පාසලට පැමිණෙන සිසුවකු සන්තකයේ පිහියක් තිබිය නොහැකි බවය. පාසල් එන්නේ ඉගෙනුමට මිස පිහිවලින් හරඹ කිරීමට නොවන බැවිනි. මෙහිදී එම සිසුවාගේ මානසික තත්වය පරීක්ෂාවට ලක් කිරීම පවා ඉතා අවශ්‍ය බව ද පැවැසිය යුතුය. ඔහු තුළ අදාළ ගුරුවරයා කෙරෙහි එතරම් වෛරී සහගත හැඟීමක් ඇති වූයේ කෙසේදැයි එහිදී සොයාගත හැකි වනු ඇත. වැරැද්දක් පෙන්වා දීමෙන් සිසුවකු තුළ තරමක හෝ කේන්තියක් ඇති වීම පිළිගත හැකි තත්වයක් වුව ද, එය පෙරළා ගුරුවරයාට පහරදීමක් සිදු කිරීමට තරම් ආවේගයක් බවට පත්වන්නේ නැත. එයට විශේෂ වූ හේතු තිබිය යුතුය.
එසේ වුවත්, මෙහිදී සඳහන් කළ යුත්තේ, පාසල් යන දූ දරුවන්ගේ විනය සහ හැසිරීම සම්බන්ධයෙන් වගකීම පැවැරෙන්නේ පාසලට සහ ගුරුවරුන්ට පමණක් නොවන බවය. නිවෙස සහ මවුපියන් අත ද එම වගකීමෙන් කොටසක් පවතී. නිවෙස තුළදී දරුවන්ගේ විනය සහ හැසිරීම පිළිබඳ මවුපියන් සැලකිලිමත් නොවන්නේ නම් සහ දරුවන් කරන වැරැදි ඔවුන්ට පෙන්වා දී එම වැරැදිවලින් ඔවුන් මුදා නොගන්නේ නම්, එවැනි දරුවන් පාසලේදීත් දඟකාරයන් සහ චණ්ඩින් බවට පත්වීම ද බලාපොරොත්තු විය යුතුය. මවුපියන් ගෙදරදී දරුවන් ඉදිරියේදී ආවේශශීලී ලෙස හැසිරෙන්නේ නම් සහ දරුවන් අතින් සිදුවන වැරැදි දැක දැකත් ඒ සම්බන්ධයෙන් පියවරක් නොගෙන අහක බලාගෙන සිටින්නේ නම්, එවැනි දරුවන්ගෙන් විනයගරුක හැසිරීමක් බලාපොරොත්තු විය නොහැක. එම දරුවන් හොඳ සහ නරක අතර වෙනස හඳුනන්නේ නැත. පාසලට පැමිණීමේදී පිහියක් ගෙන යාම වරදක් බව ඔවුන් සිතන්නේත් නැත.
පුත්තලමේ සිද්ධිය මේ අවස්ථාවේ හැටියට හුදෙකලා සිදුවීමක් වශයෙන් අර්ථ දැක්විය හැක. එහෙත්, මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් විය හැකි බව ද සිතට ගත යුතුය. දරුවන්ගේ විනය මවුපියන්ගේත් වගකීමක් බවත් තේරුම්ගත යුතුය.
(***)