වසර 75 ක ශාපයක් පිළිබඳව අපි නිතරම කතා කරමු. එකී ශාපයේ තරම ‘රට බංකොළොත්’ යැයි අපටම කීමට සිදුවීමෙන් එය පැහැදිලිය. මෙහිදී වගඋත්තරකරුවන් බවට පත්ව සිටින්නේ සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයෝ වෙති. සැබැවින්ම ඔවුහු පළමු වගඋත්තරකරුවෝ වෙති. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. රටේ පුරවැසියාට සොරකම් නොකර බඩගින්දර නිවා ගැනීමට නොහැකි රටක් නිර්මාණය කළෙත් ඔවුහු වෙති. එහෙත් මෙහිදී ජනතාව සතුව ද මගහැර යා නොහැකි වගකීමක් තිබේ. ඒ බව සනාථ කෙරෙන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ තුර්කියෙන් මෙරටට පැමිණි 22 තරුණියක සීගිරි පව්ව නැග යළිත් ලැගුම්හලට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඇයගේ මුදල් පසුම්බිය පැහැරගෙන ඇයට පහර දී පලාගොස් ඇති බව ය.
ඒ අසල මාර්ගයේ ක්‍රීඩා කරමින් සිටි වයස අවුරුදු 12 ක පමණ පාසල් දරුවන් දෙදෙනකු අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදිය ගැන සැක සිතී යතුරුපැදියේ අංකය මතක තබාගෙන ඇත. එම සිසුන් දෙදෙනා මේ බව නිවැසියන්ට දැනුම් දීමට දිව එද්දී එම විදෙස් කාන්තාවගේ මුදල් පසුම්බිය පැහැරගෙන ගොස් ඇති බව දැන යතුරුපැදියේ අංකය වැඩිහිටියන් අතට පත්කර ඇත.
තුර්කි ජාතික තරුණිය ලැගුම්ගත් නවාතැනේ හිමිකාරිය යතුරුපැදියේ අංකය සීගිරිය පොලිසියට ලබා දී ඇත. යුහුසුළුව ක්‍රියාත්මක වී ඇති සීගිරියේ පොලිසියේ නිලධාරීන් සිද්ධිය වී විනාඩි 45 ක් ගතවීමටත් මත්තෙන් මංපහරන්නන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. ඒ පැහැරගත් මුදල් පසුම්බිය ද සමග ය.
පාසල් ළමයින් දෙදෙනාගේ විමසිලිමත් දෑස් නොවන්නට හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු නොකරන්නට මෙම මංපහරන්නන් දෙදෙනා කුදලා ගැනීම පහසු නොවනු ඇත. එසේ අවබෝධයෙන් යුතුව කටයුතු කළ එම පාසල් ළමයින් දෙදෙනාට අපි ප්‍රණාමය පුදකරමු. රටකට අවැසි වන්නේ මෙවැනි දරු පරපුරක් ය. මෙබඳු දරුවන් සිටිත්නම් මේ රට වඩාත් සුන්දර රටක් වනු නොඅනුමාන ය.
මුදල් පසුම්බිය පැහැරගැනීමේ දී තුර්කි ජාතික තරුණිය මංපහරන්නන් දෙදෙනා සමග පොරබදා ඇත. එහිදී තුවාල ලබා සිටි හෙයින් සීගිරිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත. නිවාඩුව විවේකයෙන්, විනෝදයෙන් හා අරුත්බරව ගත කිරීමට මෙරටට පැමිණි තුර්කි ජාතික තරුණියට මෙරට සම්බන්ධයෙන් කවරාකාර හැඟීමක් ඉතිරි වී ඇද්ද යන්න සිතා ගැනීමට අසීරු නැත. මෙබඳු මංපහරන්නන්, තක්කඩියන් සිටින රටකට ඇය යළිත් කිසි දිනෙක නොයනු ඇත. එමෙන්ම තමන් දන්නා කියන අයට ද ‘ලංකාව යනු මෙබඳු රටක්’ යැයි පවසනු ඇත.
75 වසරක ශාපයේ තක්කඩි පුරවැසියන්ගේ පංගුව එසේ ය. අපේ රට බංකොළොත් වී ඇත. ඒ ඩොලර් සංචිත හිඳී යාමෙනි. මෙරටට ඩොලර් ලැබෙන ප්‍රධානම මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරය වේ. පාස්කු දා ප්‍රහාරය, කොවිඩ් වසංගතය, රට බංකොළොත් වීම ආදී කාරණා හරහා සංචාරක ව්‍යාපාරය බිංදුවටම වැටුණි. යළිත් මෙම සංචාරක ව්‍යාපාරය පණ ගසා ගත යුතුය. සීගිරියේ මංපහරන්නන් වැන්නවුන් නිසා එය කිසිසේත්ම කළ නොහැකි වනු ඇත. එහෙයින් මෙම මංපහරන්නන්ට උපරිම දඬුවම් දිය යුතු ය.
(***)