සුපිරි ධනවතුන්ට බදු දැලෙන් රිංගන්න දෙනු එපා


ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ගේ බදු අනුකූලතාව පිළිබඳ ඉදිරියේ දී වඩා සමීප ලෙස අවධානය යොමු කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මියගේ අත්සනින් පසුගියදා නිකුත් කළ නිවේදනයක සඳහන් විය. ඒ සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ඉහළ වත්කම් සහිත පුද්ගල අංශය වෙත අතිරේක නිලධාරීන් සහ තාක්ෂණික පහසුකම් පවා ලබා දී තිබෙන බව ද එම නිවේදනයේ සඳහන්ය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙවැනි පියවරක් ගැනීමට හේතු වී ඇත්තේ මේ රටේ ඉතා ඉහළ වත්කම් සහිත පුද්ගලයන් නිසි ආකාරයට බදු ගෙවන බවට සහතික කර දැන ගැනීම සඳහා බව තේරුම් ගැනීම දුෂ්කර නැත. එය සිදුවිය යුතු කාර්යයක් බව අපගේ ද පිළි ගැනීමයි. බදුගෙවීමේ ඉහළම හැකියාව තිබෙන පුද්ගලයන් අතරේ බදු නොගෙවන සහ ඉතා අඩුවෙන් බදු ගෙවා අත පිස දමාගන්නා පිරිස් සිටින බව ප්‍රකට රහසකි. එය ඕනෑම රටකට පොදු සාධකයක් බව ද සඳහන් කළ යුතුය.

ඉතා ධනවත් රටවල වුවද බදු ගෙවීම පැහැර හරින ඉහළම ආදායම් ලබන පුද්ගලයන් සිටිය හැකි බවද එවැනි පුද්ගලයන් හෝ ආයතන හෝ පසුපස හබායාමට ඒ රටවල නීතිය තදින් ක්‍රියාත්මක වන බව ද ඒ සමග පෙන්වාදිය යුතුවෙයි. ඒ රටවල ඉතා සුප්‍රසිද්ධ පුද්ගලයන්ට පවා බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා හමුවේ සිරදඬුවම් විඳිමට සිදුව තිබෙන බවට උදාහරණ ඕනෑ තරම් තිබේ. ඒ කොතරම් තද නීති තිබුණත් බදු ගෙවීම් පැහැර හරින සහ විවිධ උපක්‍රම භාවිත කර බදු දැලෙන් රිංගා යන මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ද ඕනෑම රටක වෙසෙති. අපේ රටට ද එය අදාළය.

රටේ ආදායම් බදු ගෙවන සියලුම පුද්ගලයන් සඳහා කළ හැකි හොඳම දිරි ගැන්වීම රටේ ඉහළම ආදායම් ලබන පුද්ගලයන් පවා මග හැරීමකින් තොරව ආදායම් බදු ගෙවන බවට විශ්වාසයක් ඇති කිරීමයි. ඒ සඳහා ඉහළ වත්කම් සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රීතයන්ගේ බදු අනුකූලතාව නිරන්තර අධීක්ෂණයට ලක් කිරීම ඉතා වැදගත් පියවරකි. මෙම ඉහළ ආදායම් පුද්ගල කාණ්ඩය සම්බන්ධ කටයුතු අධීක්ෂණය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත කර ඇති විශාල බදු ගෙවන්නන්ගේ කාර්යාලය තවදුරටත් ශක්තිමත් කිරීමට ගෙන ඇති තීරණය හරහා ධනාත්මක ප්‍රතිඵල සහිත ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරමු.

රටට ඉහළ ආදායම් සපයා දෙන අපනයන ක්ෂේත්‍රයේ ආයතන වුවද එසේ අපනයන ආදායමෙන් කොටසක් මෙරටට ගෙන ඒමෙන් වැළකී විදෙස් රටවල තැන්පත් කරන්නේ නම් එය බරපතළ මූල්‍ය අපරාධ ගණයට වැටෙයි. එය ඇතැම් රටවල නීතියට අනුව මුදල් විශුද්ධිකරණ අපරාධයකි. එහෙත් මෙරට එවැනි ආයතන නීතිය හමුවේ දඬුවම් ලබා තිබෙන බවට තොරතුරක් නැත. මේ ඇතැම් ආයතන එසේ විදෙස් රටවල බැංකුවල මුදල් රඳවාගෙන තබා ගන්නේ තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ වෙනත් උපකරණ මිලදී ගැනීම සඳහා බව නොනිල වශයෙන් ප්‍රකාශ කරන බව ද සඳහන් ය. එහෙත් එවැනි ක්‍රමයකින් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩක් තිබිය යුතු නැත. තමන්ගේ නියම ආදායම වසන්කර ඒ ඉහළ ආදායමට ගෙවිය යුතු ආදායම් බදු ගෙවීමෙන් වැළකීමට යොදා ගන්නා හොර ක්‍රමවේදවලට තිත තැබිය යුතුය. ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද යොදා ගැනීමේ වරදක් නැත.

ශ්‍රී ලංකාවේ පොදු මහජනතාව අතර ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් විශාලම අවධානය යොමු වූයේ උපයනවිට බදු ගෙවීම වැඩි කිරීමත් සමගිනි. රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබන සියලු දෙනාම ආදායම් බදු සීමාවට වැටීමත් සමග රටේ විශාල ජනතාවකට බදු ගෙවීමට සිදුවිය. ඊට පෙර තිබුණේ වැටුපට අදාළව උපයන විට ගෙවීමක් වුවද මාසිකව ලබන සියලුම ආදායම බදු චක්‍රයට අසුවීම බොහෝ දෙනකුට දරාගත නොහැකි විය. එම තීන්දුවට බොහෝ දෙනකුගේ විරෝධය පළ වූයේ රටේ ඉහළම ආදායම් ලබන පිරිස් බදු දැලෙන් රිංගා යාමට එරෙහිව තදින් පියවර ගැනීමක් සිදු නොකර පොදු මහජනතාවගෙන් පහසුවෙන් බදු අයකර ගැනීමට ක්‍රියා කිරීම නිසාය. මේ පසුබිමේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගේ බදු ගෙවීම් අධීක්ෂණයට පියවර ගැනීම යහපත් ක්‍රියාමාර්ගයක් වශයෙන් අපි සලකමු.

(***)