නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් වැඩියෙන්ම කතා කර තිබෙන්නේ දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙනි. එහෙත් දශමයකින් හෝ කර ගැනීමට නොහැකිව තිබෙන්නේ ද එයමය. සිදුව ඇත්තේ දිනෙන් දින දුප්පත්කම ඉහළ යාම ය. රටේ සාතිශය බහුතරයක් ජනයා එම දරුණු ඉරණමේ පහසු ගොදුරු බවට පත්ව සිටිති. විසිතුරු ආටෝප සාටෝපයන්ගෙන් එය වසන්කර තිබුණ ද නොවැළැක්විය හැකි සිදුවීම්වලින් ඒ බව අනාවරණය වේ. එබඳු එක් සිද්ධියක් අප පුවත්පත ඊයේ මුල් පිටුවෙන් අනාවරණය කළේය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිවත්ත හයේ ජනපදයේ සිරි වඩ්ඩනාරාමයට ඇතැම් දිනවල දානය නොලැබෙන හෙයින් එවැනි දිනවල බඩඉරිඟු හෝ අඹ හෝ වැළඳීමට සිදුව ඇති බව විහාරාධිපති කලවානේ කෝසල හිමියන් ප්‍රකාශ කළ බව ය.
‘පන්දහසක් කල් සස්න රක්නා රට’ යැයි උතුම් බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලද බුදුන් පහස ලද ශුද්ධ භූමියේ වැඩ සිටින ඖරස බුදු පුතුන් වහන්සේ නමකට රටක් අමතා ප්‍රකාශ කරන්නට සිදුව ඇත්තේ එබඳු දුක්මුසු කතාවකි. කුරක්කන් හේනේ කුරුල්ලන් එළවන්න නාඹර රූබර ගැමි ළලනාවන් කී කවි අසා රහත් වූ බුදු පුතුන් වැඩ සිටි බිමක දානය නොලැබුණු දිනට බඩ ඉරිඟු හා අඹ වළඳා බඩගින්දර නිවා ගැනීමට සිදු වී ඇතැයි කියන සිද්ධිය අප වටහාගත යුත්තේ කෙසේද?
භික්ෂුන් වහන්සේ නමකට දානය නොලැබෙන්නේ නම් පිණ්ඩපාතයේ වැඩම කළ හැකි ය. එහෙත් එසේ වැඩම කළ හැකිවන්නේ දායකයන්ගේ ද අත මිට සරුනම් පමණි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ රජ කළ හයවැනි ගෝඨාභය රජු දවස ඉදිකර ඇතැයි පැවසෙන මෙම ඓතිහාසික විහාරස්ථානය ආශ්‍රිතව දායක පවුල් 25ක් පමණ සිටිති. එහෙත් විහාරාධිපති හිමියන් පවසන්නේ එම දායක පවුල්වලින් වැඩි පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බැවින් ඔවුන්ට ද යමක් කළ නොහැකි බව ය.
‘විශේෂිතය සමස්තය නොවන බව’ සත්‍යයකි. සේරුවිල දෙහිවත්ත හයේ ජනපදයේ සිරි වඩ්ඩනාරාමයේ විහාරාධිපති හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලා තෙනම මුහුණ දී සිටින ඉරණම රටේ පොදු තත්වය නොවන බව සත්‍යයකි. උන්වහන්සේලා මුහුණ දී සිටින ඉරණම උන්වහන්සේලාට පමණක් උරුම වූ ඉරණමක් ද නොවේ. මෙබදු ස්ථාන, ගම්මාන අප රටේ කොතෙකුත් තිබේ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අතිශයින් ම වැදගත් ය.
ඉහත විහාරස්ථානයේ මාස තුනකට පෙර කාලයේ සිට විදුලිය විසන්ධි කර ඇති බවත් හිඟ මුදල රුපියල් ලක්ෂ 5ක් පමණ වන බවත් විහාරාධිපති හිමියෝ පවසති. සැබැවින්ම පන්සල් නඩත්තු කිරීම දායකයන්ගේ වගකීමකි. යුතුකමකි. බොහෝ දුෂ්කරතා විඳ දරා ගනිමින් වුවද උන්වහන්සේලා එම විහාරස්ථානයේ වැඩ සිටිති. එමඟින් එම දායකයන්ගේ ආගමික කටයුතුවලට පහසුවක් ලැබී තිබේ. අවම වශයෙන් මියගිය ඥාතියකුට පාංශුකූලය දීමට හෝ උන්වහන්සේලා වැඩ සිටිති. එහෙත් එම දායකයන්ට එම පන්සල නඩත්තු කළ නොහැකි ය. ඒ, ඒ සඳහා ඔවුන්ට වත්කමක් නොමැති හෙයිනි. අපට පෙනෙන ආකාරයට එම දරිද්‍රතාව ඔවුන්ගේ දරිද්‍රතාව නොව මුළු රටේ ම ඇති දරිද්‍රතාව වේ. ආර්ථිකය නගා සිටුවන වැඩසටහනේ දී මෙබඳු හුදකලා ගම්බිම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව විශේෂයෙන් අවධාරණය කළ යුතු ය.
(***)