මෙම තීරුව වැඩි වශයෙන්ම වැයකර ඇත්තේ සෞඛ්‍ය සේවය සම්බන්ධයනේ විය යුතුය. එයට හේතුව මෙරට ජනයාගේ පණනල රැකී තිබෙන්නේ සෞඛ්‍ය සේවය මත වීම නිසාය. එහෙත් අවාසනාවකට මෙන් සෞඛ්‍ය සේවයෙන් වැඩි වශයෙන් වාර්තා වන්නේ දූෂණ, අක්‍රමිකතා, හොරකම් සහ පරිපාලන ගැටලු ආදිය පිළිබඳවයි. අප පුවත්පත ඊයේ දිනයේ දී ද සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් වාර්තා කරනු ලැබුවේ ඇඟ ලොමු ඩැගැ ගන්වන සුළු ප්‍රවෘත්තියකි.
අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000ක් විදේශ වෛද්‍ය වෘත්තියේ නියැළීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටලුවක් බවට පත්වී ඇති බවත්ය.
මෙකී ප්‍රවෘත්තියට අදාළව කරුණු විමසීමේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක මට්ටම සම්බන්ධයෙන් ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදයක් ඇතිකරගත හැකි තත්වයක් ද තිබේ. එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියට සම්බන්ධවීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය යුතු විභාගයට මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් තුන් දහස් පන්සියයෙන් හත්සිය පනහක්ම ශ්‍රී ලාංකික වෛද්‍යවරු වෙති. එම පිරිසෙන් පන්සිය පනහක් විභාගය සමත්වී සිටිති. එයින් පැහැදිලි වන්නේ අපගේ වෛද්‍යවරුන්ගේ විශේෂඥභාවය ඉතා ඉහළ මට්ටමක තිබෙන බවය. අප පුවතින් කියැවෙන්නේ සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍යවරුන් පන්දාහක් පමණ රට හැර යාමේ අවදානමක පසුවන බවය.
මෙරට රජයේ රෝහල්වල සේවය කරන්නේ වෛද්‍යවරුන් විසිදහසක් පමණය. ඉන් වෛද්‍යවරුන් පන් දහසක් ඉවත්ව යන්නේ නම් එය මෙරට ජනයාගේ ජීවිතවලට බරපතළ ලෙස බලපෑමක් ඇති කරන්නකි. රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නැත. වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවල හිඟයෙන් මෙරට රෝහල් වැසී යමින් තිබේ. ඖෂධ හිඟය ද උග්‍රය. මෙම පරිසරය තුළ වෛද්‍යවරුන් පන් දහසක් විදේශගතවීමෙන් ලෙඩ වීම යනු අපා දුකක්ම බවට පත්වනු ඇත.
හෙද හෙදියන් හා පුහුණු කාර්ය මණ්ඩල සේවකයන් විදේශගතවීම නිසා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක් දැනටමත් නිර්මාණය වී තිබේ. ඇති තතු ඇති ආකාරයෙන් විමසා බැලූ විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවතින්නේ පවත්වාගෙන යාහැකි තත්වයක නොවේ. නොඑසේනම් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය හොඳටම පිරිහී ඇතැයි කීවොත් නිවැරැදියයි සිතේ.
වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩල රට හැර යන්නේ රටේ ආර්ථිකය ඔවුන්ගේ පැවැත්මට තරම් නොවන නිසාය. අපේ ආර්ථිකයේ තරම කවුරුත් දනිති. කෙතරම් ඉපැයුවත් එය ජීවත්වීමට ප්‍රමාණවත් නොවේ. සෑම පුරවැසියකුටම මෙම ප්‍රශ්නය තිබේ. එහෙත් මෙම ප්‍රශ්නයට ඉන්ද්‍රජාල විසඳුම් නොමැත. එයද වටහාගත යුතුය. විශේෂයෙන්ම මහජනයාගේ බදු මුදලින් ඉගෙන ඉහළට පැමිණි පිරිස්වලට රට අමතක කළ හැකි නොවේ. තමන්ගෙන් රටට ඉටුවීමට යුතුකම් තිබෙන බවද මතක් කර ගත යුතුය. විශේෂයෙන්ම රටත් - ජනතාවත් අමාරුම අවස්ථාවක පසුවන මොහොතක එම යුතුකම වඩාත් හොඳින් ඉටු කළ යුතුය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටින්නේ වෛද්‍යවරුන්ගේ රට හැර යාමේ ගැටලුවට මුහුණ දීම සඳහා තවත් සීමා වාසික වෛද්‍යවරුන් පත් කිරීමට සැලසුම්කර ඇති බවත්ය. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ වැටුප වැඩි කිරීම අපහසු කරුණක් බවය. අප අවධාරණය කරන්නේ රටේ සෙසු කරුණු පසෙකලා හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රමුඛතාව දිය යුතු බවය.
(***)