වෛද්‍යවරුන් හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පෙරේදා (13) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා රෝහල් රැසක රෝහල් කටයුතු අඩපණ වී තිබිණි. වෛද්‍යවරුන්ට ගෙවනු ලබන රුපියල් තිස්පන්දාහක ඩැට් දීමනාව තමන්ටද ලබා දිය යුතු යැයි යන ඉල්ලීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වීම මෙම වැඩවර්ජනයට හේතුව වශයෙන් සඳහන් විය.
මේ සටහන තබන මොහොතේ රජයේ ප්‍රධාන රෝහල් ඇතුළු සෙසු රෝහල්වලට පැමිණි රෝගීන් සහ ඔවුන්ගේ සමීපතමයන් බලවත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටි බව වාර්තා විය. යුද හමුදාව ඇතුළු ආරක්ෂක සේවාවල සාමාජිකයන්ගේ සහාය ද ඇතිව වෛද්‍යවරුන් එම රෝහල්වල කටයුතු පවත්වාගෙන යාමට ක්‍රියා කර තිබුණත් තත්වය පාලනය කිරීමට එම සේවාව ප්‍රමාණවත් නොවීය. වෛද්‍යවරුන් පවා රෝගීන් රෝදපුටුවල තබා තල්ලු කරගෙන අමතර රාජකාරියක් පවා ඉටු කළ අවස්ථා ද තිබිණි. එහෙත් රෝහල් කරා පැමිණි රෝගීන්ගේ පීඩාව තුරන් කිරීමට එයට නොහැකි විය.
වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාව තමන්ට ද ලබා දිය යුතු යැයි ඉල්ලා රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීම කොතරම් දුරකට සාධාරණ දැයි එම වෘත්තීය සමිති නිලධාරීන්ම තමන්ගේ හෘදය සාක්ෂියෙන් විමසා බැලිය යුතු යැයි අපි සඳහන් කරමු. අප කියන්නේ වැඩවර්ජනයට එළැඹ සිටින වාත්තීය සමිතිවලට ගැටලු නැති බවක් හෝ ඔවුන් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි කියා හෝ නොවේ. එහෙත් වෛද්‍ය වෘත්තිකයන්ට ලබා දෙන සියලු දීමනා තමන්ගේ සාමාජිකයන්ටද ලැබිය යුතු යැයි මේ වෘත්තීය සමිති නායකයන් කල්පනා කරන බවක් මෙවැනි වැඩවර්ජන ක්‍රියාත්මක කර රෝහල් අඩපණ කරන ක්‍රියාවලියෙන් පෙන්නුම් කරයි. මේ හේතුවෙන් සෞඛ්‍ය සේවයේ වැඩවර්ජන සහ උද්ඝෝෂණවලදී වින්දිතයන් බවට පත්වෙන අසරණ රෝගීන්ගේත් ඔවුන්ගේ පවුල්වල අයගේත් උදහසට ලක්වීමට මේ වෘත්තීය සමිතිවල සාමාජිකයන්ට සිදුවන බවද පෙන්වා දිය යුතුය. ලෙඩකට ප්‍රතිකාර ගැනීම කල් දැමිය හැකි ක්‍රියාවක් නොවේ. එසේ කල් දැමීම මරණයට අතවැනීමකි. දීමනාවක් ඉල්ලමින් වැඩවර්ජනයක් සිදු කරන සියලුම සෞඛ්‍ය සේවකයන්ට මේ තත්වය ගැන අවබෝධයක් තිබිය යුතුය.
වෛද්‍යවරුන්ට පමණක් නොව සෞඛ්‍ය සේවයේ සෙසු ක්ෂේත්‍රවල සේවකයන්ටද සෑහෙන පමණ වෘත්තීය ගැටලු තිබෙන බව අපි දනිමු. එහෙත් ඒ සමඟ පැවසිය යුත්තේ එවැනි වෘත්තීය ගැටලු පවතින එකම ක්ෂේත්‍රය සෞඛ්‍ය පමණක් නොවන බවය. වෙනත් බොහොමයක් රජයේ සේවා අංශවලද එම ගැටලු පවතී. මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන විදුහල්පති සේවා සංගමයේ උද්ඝෝෂණ එයට එක් උදාහරණයකි. මේ කිසිවෙක් හෝ තමන්ගේ සේවය ලබාගන්නා පිරිස ප්‍රාණ ඇපයට නොගනිති. සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් වේවා සෙසු ක්ෂේත්‍රවල නිලධාරීන් සහ සේවකයන් වේවා වැඩවර්ජනයක නිරත වීම යනු අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීමකි. එහිදී සිදුවන ප්‍රමාදය රෝගියකුට ජීවිතය අහිමි කිරීමක් විය හැකිය.
සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් රජයේ බලධාරීන්ගේද අවධානය මීට වඩා යොමුවිය යුතු බවද පෙන්වා දිය යුතුය. ඉල්ලීම් ලබාදීමට මූල්‍යමය ප්‍රතිපාදන නොමැති නම් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැනුම්වත් කරමින් ඔවුන් සමඟ කිසියම් සාකච්ඡාමය විසඳුමකට එළැඹීමට උත්සාහ දැරීම රජයේ වගකීමකි. රජයේ රෝහල් කරා පැමිණෙන රෝගීන්ට නිසි ප්‍රතිකාර ලැබෙන බවට වග බලාගැනීම රජයට අයත් කාර්යයකි. රජය ද තීන්දු තීරණ ගත යුත්තේ ඒ පිළිබඳ සැබෑ අවබෝධයකින් යුතුවය.
අසරණ රෝගීන්ගේ ජීවිත බරපතළ අවදානමකට ඇද දමමින් සිදු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වරින් වර සිදුකෙරෙන වැඩවර්ජනවලට තිත තැබීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු යැයි අදාළ සියලු දෙනාට දැනුම් දීමට කැමැත්තෙමු. රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නිසි පරිදි එම සේවාව ලබාගැනීමට තිබෙන පහසුකම් වෘත්තීය ගැටලු හේතුවෙන් නවතා දැමිය යුතු නැත. එසේ නොවී දිගින් දිගටම මෙසේ සිදුවුවහොත් සෞඛ්‍ය සේවාවත් පෞද්ගලික අංශයට පැවරිය යුතු යැයි හඬක් මහජනතාව අතරින්ම පැමිණීමට ඉඩ තිබෙන බවද කිව යුතුය.
(***)