හෝටල් කර්මාන්තයේ අර්බුදයට වහා පිළියම් ඕනෑ


දඹුල්ල, හබරණ, සීගිරිය හා පොලොන්නරුව ප්‍රදේශවල සංචාරක හෝටල් කර්මාන්තයට විදේශිකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ඉදිරියට උත්සව සමයේ කාමර වෙන්කර තැබීමේ අඩුවක් පෙනෙන්නට ඇතැයි සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත නොබෝදා වාර්තා කළේය.

ප්‍රවෘත්තියට පදනම් වන්නේ රටේ එක් පළාතක් පමණි. එහෙත් ප්‍රවෘත්තියෙන් අනාවරණය කෙරෙන තත්ත්වය එම පළාතට පමණක් සීමා නොවුණු රටේ සෑම සංචාරක කලාපයකටම බලපාන තත්ත්වයක් බව ඉතා පැහැදිලිය. වෙනස් විධියකට ලියන්නේ නම් රටෙන් අඩකට බලපාන තත්ත්වයකි.

සංචාරක ව්‍යාපාරයෙන් ජීවනෝපාය සරි කරගන්නා පවුල් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. මහා පරිමාණ හෝටල් සංකීර්ණවල සිට නිවාස ලැගුම්හල් බවට පත් කර කුලියට දෙන පිරිස් දක්වා ද අති සුඛෝපභෝගී කුලී රථ සිට ත්‍රීරෝද රිය දක්වා ද සංචාරක මඟ පෙන්වන්නන්ගේ සිට මඟ දෙපස වෙළඳාම් කරන්නන් දක්වා ද අති විශාල පිරිසක් සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ වී සිටිති. ඒ ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා ජීවත්වන්නේ ඍජුවම එම සංචාරක ව්‍යාපාරයත් සමඟය.
උත්සව සමය “සීසන්” ලෙස හැඳින්වේ. “සීසන්” හැමදාම එන්නේ නැත. අප්‍රේල් හා දෙසැම්බරය ප්‍රධාන වශයෙන්ම සීසන් සමයට අයත්ය. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ලක්ෂ ගණනක් ජනී ජනයාගේ ජීවිතවලට සොම්නස ගලා එන්නේ ඒ “සීසන්” සමයේදීය. අනෙකුත් දිනවල දී බඩට නොකා ඒ ජනයා ජීවත් වන්නේ “සීසන්” එකේදී “ඇරියස් කවර්” කරන බවට ඒකාන්ත විශ්වාසයෙනි.

කරුණු කාරණා එපරිදි වුවද අප පුවත්පත වාර්තා කළේ දඹුල්ල, හබරණ, සීගිරිය හා පොලොන්නරුව යන සංචාරක කලාපයේ හෝටල් වේළෙන බවය. හෝටල් වේළෙන්නේ නම් ඉතිරිය සම්බන්ධයෙන් සිතා ගැනීම අසීරු නැත. වෙනත් කාලවල දී නත්තල් සහ උත්සව සමය වෙනුවෙන් කල් ඇතිව හෝටල් කාමර වෙන්කර ගැනීමක් සිදු වුව ද මෙවර එහි කැපී පෙනෙන අඩුවක් ඇති බව අප පුවත්පත පවසයි.

තත්ත්වය එතරම් යහපත් නොවන බව පෙනෙන්නේ දැනටමත් වෙන්කර ඇති හෝටල් කාමර අවලංගු කිරීමේ ප්‍රවණතාවක් ද තිබෙන බව සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද මහතා අප පුවත්පතට ප්‍රකාශ කර ඇති හෙයිනි. දඹුල්ලේ ඉහළ තලයේ සංචාරක හෝටලයක් ඒ සඳහා ඔහු උදාහරණයක් වශයෙන් පෙන්වා දෙයි.

වෙනත් වසරවල ජනවාරි, පෙබරවාරි හා මාර්තු ආදී මාසවල මේ වනවිටත් විශාල වශයෙන් සංචාරකයන්ට හෝටල් කාමර වෙන් කරන බවත් එහෙත් දැනට වෙන් කර ඇති කාමර පවා අවලංගු කිරීම නිසා සංචාරක ව්‍යාපාරයේ හෙට දවස බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බවත් සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

සංචාරක ව්‍යාපාරයට මෙම අභාග්‍ය සම්පන්න ඉරණම පැමිණ තිබෙන්නේ රට හමුවේ සුනාමි උවදුරක් ඇති හෙයින් නොවේ. ගංවතුර හෝ නියඟයක් නිසා නොවේ. වෙනත් ස්වාභාවික විපතක් නිසා නොවේ. මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුද සුළිය නිසාය.

දේශපාලන අර්බුදය පවතින්නේ දියවන්නාව මැද මහේශාඛ්‍ය ලීලාවෙන් නැඟී සිටින යෝධ ගොඩනැගිලි සංකීර්ණයේ සභා ගැබ මැද පමණක් නොවේ. දේශපාලන පක්ෂ අතර පමණක් නොවේ. ඒ දේශපාලන අර්බුදයේ බලපෑම රටේ සෑම සියලු ​ෙක්‍ෂ්ත්‍රයකටම බලපා තිබේ. රටේ ආර්ථික ​ෙක්‍ෂ්ත්‍රයට එමගින් එල්ල වී තිබෙන බලපෑම සුළුපටු නොවේ.
මෙම දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් කෙස් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කර තේරුමක් නැත. ඇතැමෙකුට ප්‍රශ්න යනු අවමගුල් පෙරහැරක දී ප්‍රයෝජනයට ගන්නා පාවාඩ බඳුය. ඒ පෑගීමෙන් පසු හිසට ඉහළින් විසි කර යළිත් පෑගීම පිණිසය. ප්‍රශ්න විසඳිය යුත්තේ අලුතෙන් ප්‍රශ්න නිර්මාණය වන ආකාරයට නොවේ. අලුතෙන් ප්‍රශ්න නිර්මාණය වන්නේ නම් එය ප්‍රශ්න විසඳීමක් නොවේ. එහෙත් රටේ සිදුවෙමින් පවතින්නේ එයයි. මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. සංචාරක කර්මාන්තයෙන් ඇසෙන අඳෝනාවට මැනවින් සවන් දෙන්නේ නම් තත්ත්වය තේරුම් ගැනීම අසීරු නැත.