දිඹුලාගල පාසල්වල දරුවන් රාශියක් කුසගින්න නිසා පාසල් යාම නවතා දමා ඇති බවට, ආදිවාසී නායිකා ලිසිනෝනා කළ ප්‍රකාශයක් නොබෝදා අප පුවත්පතේ පළ වූයේය. කෙසේ වුවද මෙය නිවැරැදි නොවන බව එහි ප්‍රාදේශීය ලේකම්වරයා සහ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය. එහි සත්‍ය අසත්‍ය තෝරා ගැනීම ගම්මුන්ට පවරමු. ඒ අතරම ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනයා, නිසි පමණට ආහාර නොගෙන වේල් මග හරින බවද ලෝක ආහාර සංවිධානය කළ විපරම් ආශ්‍රයෙන් ලැබුණු තොරතුරු ඔස්සේ හෙළිදරව් වී ඇති බව පසුගිය මාස දෙක තුනේ පළවූ වාර්තාවලින් පෙනී ගියේය. පාසල් එන දරුවන් කුසගින්න නිසා ක්ලාන්තව ඇදවැටෙන පුවත්ද පසුගිය දිනවල පුවත්පත්වල වාර්තා වූයේය. ගුරුවරුන්ගේ ප්‍රකාශවලින්ද ඒ බව සනාථ වූයේය. මෙරට ජනයාගේ කුසගින්න නිවීම සඳහා ලෝක ආහාර සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ඉල්ලා සිටීමද සිදුවිය. ලජ්ජාව නිසා එම කාරණය වසන් කළ යුතු නොවන්නේ ආර්ථික අර්බුදය හමුවේ කුසගින්න නමැති ප්‍රශ්නය මූලික කොට විසඳාගත යුතු බැවිනි.
සමස්තයක් වශයෙන් වරසක් තුළදී ආහාර මිල සියයට 80 කින් පමණ ඉහළ ගිය බව උද්ධමන වාර්තාවලින් අනාවරණය වූයේය. කොරෝනා අර්බුදය හමුවේ 2020 දී පවා මෙරට සහල් අතිරික්තයක් නිෂ්පාදනය වූයේය. 2021 අප්‍රේල් මාසයේදී කරළියට පැමිණි රසායනික පොහොර තහනමත් සමග එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වූයේය. රසායනික පොහොර තහනමේ මුග්ධත්වයේ තරමටම සහල් නිෂ්පාදනයේ හිඟයක් එවක් පටන් කන්නයක් පාසා ඇතිවිය. රසායනික පොහොර තහනම නිසා මෙරට බඩ ඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් සත්වාහාර හිඟයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස බිත්තර සහ කුකුල් මස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. ආනයනය කර ගන්නට හැකි වූයේ ඉලක්ක කරගත් බඩ ඉරිඟු ප්‍රමාණයෙන් සියයට 20ක් පමණි. ඒ අතර මෙරට ඉන්ධන, මිල ඉහළ යෑම හේතුවෙන් ජනයා පරිභෝජනයට ගන්නා මත්ස්‍ය ආහාර මිල දෙගුණ තෙගුණ වූයේය. මුහුදු යන බෝට්ටුවලට අවශ්‍ය භූමිතෙල් හිඟවිය. මිනිසුන් එදිනෙදා පරිභෝජනයට ගත් මත්ස්‍ය ආහාර සියල්ල වරප්‍රසාද ලත් පන්තියට පමණක් පරිභෝජනයට ගත හැකි ආහාර බවට පත්විය.
පෙර දවස ආහාර උද්ධමනය මැන බැලීමට ඉවහල් කරගත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය සැකසීම සඳහා පදනම් කරගත්තේ එවකට කම්කරු ජනයා පරිභෝජනයට ගත් කරවල, පරිප්පු වැනි ආහාර වර්ගය. කරවල කිලෝවක සාමාන්‍ය මිල රුපියල් තුන්දහසකට සමීප වීමත් පරිප්පු කිලෝවක මිල රුපියල් 400ට සමීපවීමත් සමග ඒවා කම්කරුවාගෙන් ඈතට ගියේය.
මේ ආකාරයට ආහාර උද්ධමනය හමුවේ වඩාත් ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ප්‍රෝටීන ආහාරයි. වැඩෙන දරුවාගේ සිරුර වර්ධනයටත්, ශාරීරික සෛල අලුත්වැඩියාවටත් වඩාත්ම බලපාන්නේ ප්‍රෝටීන්ය. ජීවය ගොඩනැගෙන බිල්ඩින් බ්ලොක් ලෙස හඳුන්වන්නේ ප්‍රෝටීනයි. මානව ශරීරයේ සෑම සෛලයක්ම සමන්විත වන්නේ ප්‍රෝටීන වලිනි. දැන් ජාතියේ දරුවෝ ප්‍රෝටීන ඌනතාවෙන් පෙළෙන බව රහසක් නොවේ.
ආදායම අඩුවීම හේතුවෙන් (ඉහළ යන ආහාර මිලට සාපේක්ෂව) ආහාර සුරක්ෂිත භාවය අඩුවීම සුළුකොට තැකිය යුතු ගැටලුවක් නොවේ. ආහාර සුරක්ෂිතතාව අඩුවීම යනු පෝෂණය අඩුවීමකි. මෙය අතුරු ප්‍රතිඵල නැවත නැවත ගෙන එන දුෂ්ට චක්‍රයකි.
හාමත් බවේ ප්‍රතිඵලය කලින් සිතුවාට වඩා බොහෝ භයානක වග කොළොම්බියා යුනිවර්සිටි මෙඩිකල් සෙන්ටර් විසින් කරන පර් යේෂණයකින් හෙළිදරව් විය. හාමත් බව පරම්පරා තුනකට එහා බලපාන බව එම පර් යේෂණයෙන් හෙළිවිය. (එම තොරතුරු Cell නම් ජර්නලයේ ජූලි 10 දා පළවිය)
හිස්වූ කුසක් සහිතව ඉගෙනීමේ යෙදිය නොහැකි බව සනාථ කෙරෙන පර් යේෂණ ප්‍රතිඵල ඕනෑ තරම් අයකුට අන්තර් ජාලයේ කියවාගත හැකිය. ආහාර සුරක්ෂිත භාවයෙන් අඩු සිසුන් විභාගවලින් ලබන්නේ අඩු ලකුණුය. ඔවුහු බොහෝ විට ඊළඟ ශ්‍රේණියට නොයා අසමත් වන තරමට විෂය දැනුමෙන් දුර්වල වෙති. පෝෂණය ලබන සිසුවාට වඩා පොදුවේ පෝෂණය නොලබන සිසුවාගේ කියවීමට හා ලිවීමට ඇති හැකියාව සියයට 20 කින් පමණ අඩුය. මූලික අංක ගණිතය නමැති විෂයේදී නිසි ලෙස පෝෂණය නොලබන සිසුවා වරද්දා ගන්නා ප්‍රතිශතය සියයට 7 කින් වැඩිය.
කුසගින්න මානසික සෞඛ්‍යයටද දැඩි බලපෑම් කරයි. මානසික අවපීඩනය, කාංසාව, Post traumatic stress disorder (PSTD) යන මානසික රෝග කුසගින්න හේතුවෙන් දරුවන්ට වැළඳේ.
සංවර්ධන කටයුතුවලදී දරුවන්ගේ කුසගින්න නිවීමට ප්‍රමුඛතාව දිය යුතු වන්නේ මේ නිසාය. දරුවන් නිරෝගීව තබා ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කළ විට කවදා හෝ අපට ඇති කරගත නොහැකි වූ සංවර්ධනය ඔවුන් සිදු කරනු ඇත.
(***)