ළමා පරපුර රැකගැනීම සමස්ත සමාජ වගකීමක්


හදවත් පාළු සෝබර සංකාවෙන් පුරවන පුවත් නිමක් නැත. එබඳු පුවත් දෙකක්ම අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එක් පුවතකින් කියැවුණේ කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් පැන වයස අවුරුදු 15ක සිසුවකු හා සිසුවියක දිවි නසා ගත් බවය. දෙදෙනාම කුරුඳුවත්ත ජාත්‍යන්තර පාසලක එකම පන්තියේ ඉගෙනගත් බවත් එය දිවි නසා ගැනීමක් ද? වෙනත් අනතුරක් ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

සිසුවාගේ හා සිසුවියගේ මරණ මෙම සමාජය හමුවට අලුත් පාඩමක් කියා දේ. මෙය අලුත් පාඩමක් නොවුවද පාඩම නිවැරැදි ලෙස ඉගෙන නොගැනීම නිසා දිනෙන් දින අලුත් වෙමින් අප හමුවට එන පාඩමකි.

පැරැණි ගම අද නැත. පැරැණි නගරය අද නැත. එයින් කියැවෙන්නේ පැරැණි සමාජය අද නැති බවය. පැරැණි සමාජය ‘‘පවුල’’ කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණකි. එහෙයින්ම එහි මව පියා හා දරුවන් වටා ගොඩනැගුණු ගුණවත් සංස්කෘතියක් තිබිණි. එම සමාජයේ පවුල අතර මහා ආධ්‍යාත්මික බැඳීමක් තිබිණි. එහෙයින් පවුලේ කවර හෝ සාමාජිකයකුගේ වෙනස්කමක් ඉක්මනින්ම හඳුනා ගැනීමේ හැකියාව තිබිණි.

නූතන සමාජය බොහෝ වෙනස්ය. එමෙන්ම සංකීර්ණය. භෞතික දියුණුවේ විදුලි බුබුළු එළියෙන් බොහෝ දෑස් ගිනිකන වැටී තිබේ. දරුවා අධ්‍යාපන තරගකාරිත්වයේ රේස් දුවන අශ්වයකු බවට පත්ව සිටී. මව සහ පියා ආර්ථික ප්‍රවාහයේ උඩුගම් බලා පිහිනමින් සිටිති. මෙම පරිසරය තුළ පවුලේ සාමාජිකයන් සමග ආධ්‍යාත්මික බැඳීමකට ඇති ඉඩකඩ බොහෝ සෙයින් සීමා වී තිබේ. සැබැවින්ම අද සමාජයේ මිනිසා යනු ‘‘යන්ත්‍රයකි’’. යන්ත්‍රයකට හැඟීම් දැනීම් නැත. සහකම්පනයක් නැත. එය සමාජයට ආදේශ කළ විට ඛේදවාචකයේ දිග පළල වටහා ගත හැකිය.

සමාජය එසේ යැයි කියා වගකීමෙන් මිදී කටයුතු කිරීමට මවුපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට අයිතියක් නැත. එසේ වගකීමෙන් මිදී කටයුතු කළහොත් අස්වැන්න වශයෙන් නෙළා ගැනීමට සිදුවන්නේ කඳුළුය. මරණයට පත් දරුවන් දෙදෙනාගේ හැසිරීම් නිරීක්ෂණය කළේ නම් මේ මහා විපත වළක්වාගත හැකිව තිබුණේ යැයි කීම නිවැරැදිය.

අද දරුවා අත ජංගම දුරකථනයකි. දරුවාට කළ හැකි ලොකුම දෙය අතට යහමින් මුදල් දීම යැයි ඇතැම් මවුපියෝ සිතති. එහෙත් දරුවා ජීවත් වන්නේ ජීවත්වීමට සුදුසුම පරිසරයක නොවන බවත් ලොව නරකම දෙයෙහි පහසු ගොදුරක් බවට දරුවන් පත්ව සිටින බවත් මවුපියෝ නොසිතති. දරුවන්ව ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන රටක දරුවාගේ අත ඇති මුදලට ලිංගික සේවා සපයන මඩම් ඇති රටක ජංගම දුරකථනය හරහා ලිංගික හැසිරීම් නැරඹීමේ හැකියාව ඇති රටක දරුවන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය වූවකි. නොඑසේ නම් ඛේදවාචක වෙත බෙදා වැළපීමේ ඉරණම බාරගත යුතුය.

අප පුවත්පත වාර්තා කළ දෙවැනි අනුවේදනීය ප්‍රවෘත්තිය වූයේ පොසොන් බත් දන්සලක කරවල හොඳි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් සිසුවියක මිය යාමේ ප්‍රවෘත්තිය වේ.

අවධානය ගිලිහී යාම අවදානමට හේතුවකි. සිදුවිය හැකි යැයි තේරුම්ගත හැකි අනතුරු වළක්වාලන වැඩපිළිවෙළක් වූයේ නම් මල් කැකුළියකට මෙවන් ඉරණමක් අත්වීමට ඉඩක් නැත. එහෙයින් සෑම තැනකදීම එළැඹ ගත් සිහියෙන් යුතුව කටයුතු කළ යුතුය. ඉගෙන නොගන්නා පාඩම එයනම් අපට හෙට දවසේදී ද මෙවන් දුක්බර පුවත් අසන්නට දකින්නට සිදුවීම වැළැක්විය නොහැකිය.

(***)