'ආයේ කොටි සංවිධානයට ඉඩ නෑ'


සංහිදියාවට යම් යම් බාධා කරනවා නම් එතන යුද හමුදවත් නැහැ. එවැනි පිරිසට අපේ  දොරවල් විවෘත කරන්නේ නැහැ යැයි හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය. හමුදාපතිවරයා  ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ පැවැත්වු  සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පැවසු අතර එම සකච්ඡාව පහතින් දැක්වේ.

ප‍්‍රශ්නය- හමුදාවට තොරතුරු නොදෙන්නැයි උතුරේ  මහ ඇමැතිවරයා පසුගියදා උතුරේ රාජ්‍ය නිලධාරීන්ට  උපදෙස් ලබා දී තිබුණා. මෙම සිද්ධිය සංහිදියාවේ කි‍්‍රයාවලියට යම් තර්ජනයක් ලෙස ඔබ නොදකින්නේද?

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය නිලධාරියෙකුටවත් පත් වු හෝ පත්කළ දේශපාලන නායකත්වයකටවත් ජනතා නියෝජිතයෙකුටවත්  එහෙම නිවේදන නිකුත්   කරන්න බැහැ. එහෙම නිවේදන නිකුත් කිරීමෙන් ඔහුගේ රාජකාරි තත්ත්වය පිළිබඳව, වගකීම් පිළිබඳව, ප‍්‍රශ්නයක් ගොඩ නැගෙනවා. ජනතාවට ඔහු කෙරෙහි ඇති විශ්වාසය බිඳෙනවා. හමුදාපති වශයෙන් මම දකින්නේ  උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල අපි  සෑම සාකච්ඡාවක්ම පවත්වන්නේත්  සමගියෙන් කටයුතු කරන්නේත්  රජයේ නිලධාරීන් සමඟ පමණයි.  එහි සිටින ප‍්‍රාදේශිය  දේශාපාලනඥයන් සමඟ අපි සම්බන්ධ නැහැ. 

 

එම ප‍්‍රකාශයෙන් සංහිදියාවේ  කටයුතුවලට යම්  බාධාවක් එල්ල වෙනවා තමයි. නැහැ කියන්නේ නැහැ. අවසානයේ එම සිදුවීමෙන් දුක් විඳින්න වෙන්නේ එම ප‍්‍රදේශවල ජනතාවට මිසක්  රජයේ  සේවකයන්ටවත් හමුදාවේ අපිටවත් නෙවෙයි. මේ ප‍්‍රශ්නය  සාකච්ඡා කිරීමෙන්   අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ පළාත්වල  අවශ්‍ය සියලූ තොරතුරු අපි ළඟ තිබෙනවා. මොකද 1996 සිට අපි මේ පළාතේ සිටින නිසා.  රාජ්‍ය නිලධාරීන් එම නියෝග අනුගමනය නොකර ඔවුන්ගේ රාජකාරිය හරියට  කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

 

 

ප‍්‍රශ්නය- නැවත එල්.ටී.ටීය ස්ථාපිත කළ යුතු බවට විජයකලා මහේෂ්වරන් මන්ත‍්‍රීවරිය කරන ප‍්‍රකාශය එල්.ටී.ටී.ය පරාජය කළ හමුදාවක යුද හමුදාපතිවරයා වශයෙන් දකින්නේ කොහොමද ?

 

පිළිතුර- එම ප‍්‍රකාශය එතුමිය හෝ වෙන කෙනෙක් කළත් හමුදාපතිවරයා වශයෙන් වගේම මේ රටේ  නිදහස භුක්ති විඳින්න කැමති ලංකාවේ පුරවැසියෙක් වශයෙනුත් මම හෙළා දකිනවා.  ව්‍යවස්ථානුකූලව පත් වු අයට මේ  රට නැවත යුද්ධයක් කරා ගෙන යන්නට  හැගෙන කරුණු ඉදිරිපත් කිරීම  උචිත නැහැ. සංහිදියාවට බාධා වන අයුරින් කටයුතු කරන දේශපාලනඥයින්ට,හමුදාවේ විශ‍්‍රාම ගිය අයට වගේම  යම් යම් සංවිධාන හදාගෙන වැඩ කරන අයට අපේ  දොරවල් විවෘත කරන්නේ නැහැ කියලා මම නියෝගයක් නිකුත් කළේ  එම නිසයි. අපිට මේ ගමන  යන්න  ඕන රජයත් සමඟයි.

 

ප‍්‍රශ්නය- උතුරේ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිත බවටත් ඔවුන් නොයෙකුත් අපචාරවලට ලක්වෙන බවටත් විජයකලා  මන්ති‍්‍රවරිය  නඟන චෝදනාව බරපතල නැද්ද?

 

පිළිතුර- එහෙම කියන එක වැරදියි. හේතුව  යුද්ධය තිබුණ සමයේ මීට වඩා  දරුණු අපරාධ එම ප‍්‍රදේශ වල සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන්  යුද සමයේ ළමා සොල්දාදුවන් හැටියට දරුවන් බඳවා ගැනීම ලෝක න්‍යාය අනුව මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. ඒ වාගේම එය ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක්.  2009 පසු අද දක්වා  සාපේක්ෂව බැලූවොත්  එවැනි සිද්ධින් වාර්තා වී තිබෙන්නේ ඉතාමත් සුළු ප‍්‍රමාණයක්. එය දකුණේත් ලෝකයේ අනිත් රටවලත් සිදුවෙනවා. අසල්වාසී ඉන්දියාවේ කාන්තා හිංසන තදින්ම සිදුවෙනවා. උතුරේ ජනගහනය දෙස බැලීමේ එය ඉතාමත් සුළු ප‍්‍රමාණයක්.  මේ සිද්ධීන්වලට හසුවෙලා ඉන්නේ, දඬුවම් විදින්නේ,  එම ප‍්‍රදේශවලම දෙමළ ජනතාව මිසක් රාජ්‍ය සේවකයන් හෝ හමුදා සමාජිකයන් නෙමෙයි.  මේ කියන  ආසන්නතම සිද්ධියේ දී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එම දරුවාගේම ඥාතියෙක්.  එය සමාජයේ මානසිකත්වය බිඳ වැටීමක් මිස ඔය කියන ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි.

 

ප‍්‍රශ්නය- සංහිදියාවට බාධා වන අන්දමේ ප‍්‍රකාශ කරන පුද්ගලයන්ට   හමුදා කඳවුරුවලට ඇතුළු  වීම තහනම් කරමින් පසුගියදා ඔබ  නියෝගයක් නිකුත් කර තිබුණා.  මේ තහනම පැනවීමේ  පදනම කුමක් ද ?

 

පිළිතුර - මෙහි පදනම වෙන්නේ සාමයට කැමතිම පුද්ගලයා සෙබළා යන්නයි. ඒ  සෙබළ කණ්ඩායමේ නායකයා මමයි. අපි මේ දිනපු සාමය ආරක්ෂා කිරීමට  රට යළි සටනකට  නොයන්න තත්ත්වයකට පත්කිරීමට අපට අවශ්‍යයයි. නමුත් රට නැවත සංවර්ධනය  කරා කැපවීමෙන් ගෙන  යන  ගමනේ දී එයට එරෙහිව  ජනතා  නායකයන් කියා ගන්නා අය,යුද හමුදාවේ විශ‍්‍රාම ගිය අය, අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වහයෙන් අපි දැකපු  අය,   යම් යම් දේශපාලන හේතු මත  ඔවුන්ගේ  මතිමතාන්තර ඉටුකර ගැනීමට කටයුතු කරනවා නම් එවැනි  පුරවැසියන්ට  යුද හමුදාවේ කිසිම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මේ කිසිම  කෙනෙක් අපි තරම් දේශපේ‍්‍රමි නැහැ. එම නිසා  හමුදාවේ නායකයා වශයෙන් සෙබළුන්ගේ චිත්ත ධෛර්ය පවත්වාගෙන යාමටත් ඔවුන්ගේ ආරක්ෂාවටත් අපි මේ කරගෙන යන වැඬේ හරියට කරගෙන යන්නත් මම මේ තීරණය ගත්තා. අපි කැපවීමෙන් කරගෙන යන වැඬේට බාධා පමුණවන කුමන හෝ  පුද්ගලයෙක් සිටිනවා නම්  ඒ අයට අපෙන් ද වෙන්නේ බාධාවක් පමණයි.

 

ප‍්‍රශ්නය- යුද හමුදාවේ ප‍්‍රධානත්වයෙන් උතුරේ සමාජ සුභසාධන කටයුතු  රැසක් සිදු වෙනවා. ඒ පිළිබඳ මාධ්‍යවලත් පලවෙනවා. මේ තරම් සුභසාධන කටයුතු කි‍්‍රයාත්මක  කළත්  බහුතරයක් දෙමළ ජනතාවගෙන් හමුදාවට  පැසසුම් නැහැ නේද?  ඇයි හමුදාවට තවමත් උතුරේ ජනතාවගේ හිත දිනා  බැරිවෙලා තියෙන්නේ ?

 

පිළිතුර- හමුදාපති වීමට පෙර මම යාපනයේ  හිටපු ආඥාපති වශයෙන් කටුයතු කළා.  මෙතැනදි ඔබේ  ප‍්‍රශ්නයේ වරදක් තිබෙනවා. අපි උතුරේ ජනතාවගේ හිත දිනාගෙන තිබෙන්නවා. දේශපාලක හිත් දිනාගන්න බැහැ. විශේෂයෙන් ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ. ඔවුන්ගේ පැවැත්ම සඳහා  මෙවැනි සිදුවීම් තිබිය  යුතුයි. ජනතාව යටපත් කරගෙන තිබිය යුතුයි. මේ ප‍්‍රශ්න තිබිය යුතුයි.  එම නිසයි ඔවුන් මේ ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කරන්නේ. අවංකවම  උතුරු හා  නැගෙනහිර ජනතාව අතර හමුදාව කොයිතරම් ජනප‍්‍රිය දැයි ඔවුන් සමඟ ජීවත් වෙනවානම්  දැනගන්න පුළුවන්. ඔවුන් අපි ගැන ධනවාදීව බලනවාද කියලා දැනගන්න පුළුවන්. අපේ එම ව්‍යායාමය පරාජය වෙලා නැහැ. එහෙත් මාධ්‍යවල  කියැවෙන්නේ   මේ කතා කරන කෑගසන අයගේ ප‍්‍රකාශ  පමණයි.  සමහර  දේශපාලන නායකයන්ට සිටින්නේ අනුගාමිකයන් හත් අට දෙනයි. එම අනුගාමිකයන් ද ඔවුන් අතර නැහැ. ඔවුන් තමයි මේ ප‍්‍රකාශ නිකුත් කරන්නේ. ජනතාව ඔවුන් සමඟ නැහැ. අපේ ලේ දන්දීමේ ව්‍යාපාරයම විශාල සුබසාධන කටයුත්තක්. උතුරු නැගෙනහිර අපි තරම් කවුරුත් ලේ දන් දීලා නැහැ.  එහෙම නම්  ඇයි  ඔවුන් අපිව පිළිගන්නේ? ඇයි ඔවුන් අපෙන් ලේ ගන්නේ. පාසල් අධ්‍යාපනයට , මාර්ග ඉදිකිරිම්, ආරක්ෂාවට, රෝහල් ඉදිකිරීම්, ඉදිකිරීම් කටයුතු,  ඩෙංගු ව්‍යාපාර මේ හැම දේකදීම  ජනතාව හමුදාව  සමඟ ඉන්නවා. නමුත් කතා කරන ප‍්‍රමාණය අඩුයි.  කතා කරන අයගේ   වැඩ නැහැ. වැඩ කරන අය ගැන කතා නැහැ. ඒක  දකුණෙදිත් එහෙමමයි. දමිළ සාමාන්‍ය ජනයා කියන කෙනාගේ  හදවතේ අපි ඉන්නවා.

 

 

ප‍්‍රශ්නය- උතුරේ තැන තැන ක්ලෙමෝ බෝම්බ, ආයුධ රැසක් පසුගිය කාලේ හමුවුණා. මෙය නැවතත් රටේ ත‍්‍රස්තවාදය හිස එසවීමේ ලකුණු  බවට ඇතැම් දේශපානඥයන්  ඉඟි පළකරනවා. මේ ප‍්‍රකාශවලට ජනතාවට දෙන පිළිතුර කුමක් ද  ?

 

පිළිතුර - දේශපාලනඥයන් හා ඔවුන්ට සහය දක්වන බොහොම අතළොස්සක්  මාධ්‍ය තමයි මේ දේවල් කියන්නේ. ඇතැම් මාධ්‍ය මේවා උලූප්පා දක්වනවා. අපි වසර 30ක දැවැන්ත යුද්ධයක් කළා. පරම්පරා දෙකක යුද්ධයක් මේක. යුද්ධයට සහාය දුන් සහ නොදුන් කණ්ඩායම් ජාත්‍යන්තරයේ හිටියා. අපේ රට ජාත්‍යන්තරව ගිල ගැනීමට සුදානමින් සිටි පිරිස් සහ කණ්ඩායම් හිටියා.  කලාපීය අවශ්‍යතා අනුව ඔවුන්ගේ රටවල ආර්ථික අවශ්‍යතාවලට  සහ අපේ රටින් එම රටවල් වලට ගිහින් සිටින ඩයස්පෝරා කණ්ඩායම්,  ඒ කණ්ඩායම් වල පැවැත්ම වෙනුවෙන් යම් යම් දේ කළ යුතුයි.  මේ එවැනි අවස්ථාවක්. නමුත්  අපේ යුද හමුදාව තමයි මේ ජයග‍්‍රහණ ලබාගත්තේ. මේ දක්වා  අත්අඩංගුවට ගැනීම් කරනවා. වළදමා තිබෙන බෝම්බ සොයා ගන්නවා. මේවා සොයා ගැනීම පිළිබඳව ධනවාදීව බලන්න අවශ්‍යයි. මේ බොහොමයක් තොරතුරු දෙන්නේ ජනතාව. එහෙමනම් ජනතාවට යළි යුද්ධයක් අවශ්‍ය නැහැ. එම නිසා ත‍්‍රස්තාවදී  කණ්ඩායම්වලට වඩා  කඩාකප්පල්කාරි කණ්ඩායම්  ඇතිවීමේ ප‍්‍රවණතාවක් තියෙන්න පුළුවන්. නමුත්  ඒ එල්.ටී.ටී.ඊ කණ්ඩායම් නොවෙයි.

 

එල්.ටී.ටී.ඊ කිව්වාමයි අපිට දැනෙන්නේ. එල්.ටී.ටී.ඊ කියන්නේ ගුවනින් මුහුදින්, ගොඩබිමින් කාලතුවක්කු, ගුවන් යානා  සහිතව සටන් කළ සංවිධානයක්.  එල්.ටී.ටී.ඊ කිව්වාම මැවෙන්න  ඕනේ එවැනි චිත‍්‍රයක්. නමුත් මෙතැන සිදුවෙන්නේ කුඩා කණ්ඩායම් හත් අට දෙනෙක් එකතුවෙලා ඔවුන්ගේ ඉලක්ක පසුරා ගැනීමක්. ඒවාට ඔවුන්ට විශාල වශයෙන් මුදල් ගෙවනවා. මේවාට ආධාර කරන්නේ  එතෙර ඉන්න පිරිස්. ඒ අය අතර පැනගොස් සිටින  එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ද  ඉන්නවා. එය ජාලයක්.  දකුණේ කුඩු බැලූවත්, පාතාලය බැලූවත්, ඒවාගේ දේවල් තියනවා. නමුත් ත‍්‍රිවිධ හමුදාව ශක්තිමත්. පොලිසිය අපි සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. මේ රටේ නැවත එල්.ටී.ටී.ඊ සංවිධානයක් ඇති වෙලා ව්‍යසනයක් ඇති   වෙන්න  අපි ඉඩ දෙන්නේ නැති බව අපි විශ්වාසයෙන් කියනවා.   සංහිදියාවට  බාධා වන අයට වාග් ප‍්‍රහාරයක් හරි දෙන්නේ  මේ තත්ත්ව ඇති නොවෙන්නයි. 

 

ප‍්‍රශ්නය- හමුදාපතිවරයා වශයෙන්  මේ රටේ නැවත ත‍්‍රස්තවාදයක් ඇති වෙන්නේ නැතැයි ඔබට සියයට සියයක්  වගකීමෙන් කියන්න පුළුවන්ද?

 

මම හමුදාපති වශයෙන් කටයුතු කරන්නේ ඒකාබද්ධ මාණ්ඩලික  ප‍්‍රධානි, ආරක්ෂක අමාත්‍යාංශය, සේනාධිනායක ජනාධිපතිවරයා, ති‍්‍රවිධ හමුදාව පොලිසිය ඇතුළත්  බුද්ධි අංශ සමඟ ඒකාබද්ධවයි. ඒ වගේම එවැනි තත්ත්වයක්  මේ රටේ යළි ඇති නොවෙන්නයි. සියයට සියයක්ම  එල් ටී ටී ඊ සංවිධානය වගේ ත‍්‍රස්තවාදී සංවිධානයකට යළි මේ රටේ හිස ඔසවන්න  දෙන්නේ නැහැ යැයි මව විශ්වාසය තියනවා. මේ අටේ සාමය අගයන ජනතා සහාය එහිදී අපට අවශ්‍යයයි. මෙය නවත්වන්න පුළුවන් ඔවුන් සහය දැක් වුවොත් පමණයි. එම විශ්වාසය  එලෙසින්ම තබාගන්න  කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

ප‍්‍රශ්නය- එල්. ටී .ටී.ඊ සංවිධානය නැවත ස්ථාපිත නොවුනත්  උතුරේ තවමත් යම් යම් කුඩා කණ්ඩායම්  ජනතාව භිතියට පත්කර  ඇති බව ඔබම කිව්වා.  මෙම කණ්ඩායම් වලින් අනාගතේදී ජාතික ආරක්ෂාවට බාධාවක් එල්ල වන්නේ නැතැයි විශ්වාස කරන්න පුළුවන් ද ?

 

පිළිතුර - ජාතික ආරක්ෂාව කියන්නේ විශාල පරාසයක්. ප‍්‍රදේශීයව යම් කල්ලි කණ්ඩායම්  කරන කි‍්‍රයා වලින් සාමාන්‍ය ජානතාවගේ  එදිනෙදා ජනජීවිතයට  යම් බලපෑමක්  එල්ල වෙනවා. ඒක දකුණෙත් තියනවා. අපි පරිස්සම් විය යුත්තේ මේ කණ්ඩායම් ත‍්‍රස්තවාදී කි‍්‍රයා සදහා  යොදාගනීවිද කියලයි. එතනදි නීතිය හා සාමය ආරක්ෂා කරන්න අපි වගේම පොලිසිය ඉදිරිපත් වෙනවා. මේ කැරලි  කණ්ඩායම් සමාජය තුළින් තුරන් කිරීමට බුද්ධි තොරතුරු මාර්ගයෙන් , කි‍්‍රයාන්විත මාර්ගයෙන් අපි අන්‍යෝනය අසහාය දක්වනවා. උතුරේ මෙම කල්ලිවල විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයින්  අදහස් වන්නේ එල් ටී ටී ඊ යළි එනවා කියන එක නෙමෙයි.  උතුරට වඩා සිදුවීම් දකුණේ වෙනවා. එහෙනම් දකුණෙත් එල් ටී ටී ඊ ඇති වෙන්න  ඕනේ.

 

 

ප‍්‍රශ්නය- උතුරේ හමුදා කඳවුරු 100 ක් ඉවත් කරන්නැයි දේශපාලනික ඉල්ලීම් ඇති බවට චෝදනා නැඟෙනවා. මේ ඉල්ලීම් අනුව කඳවුරු ඉවත් කිරීමක් සිදුවෙනවාද?  එසේනම් එම කඳවුරුවල සිටින හමුදා පිරිස අඩුකිරීමක් කරනවාද ?

 

පිළිතුර- කිසිදු හමුදා කඳවුරක් ඉවත් කරන්නේත් හෝ වහන්නේ නැති බව මම හමුදාපති වශයෙන්  ඉතා වගකීමෙන් කියනවා. උතුරේ  ඉන්න දේශපාලනඥයෝ කුමක් කිව්වවත් , බල කළත් මම එවැන්නක් සිදුවෙන්න දෙන්නේ නෑ. එහෙම වෙනවා නම් මුලින්ම අයින් වෙන්නේ හමුදාපති වශයෙන් මමයි.  මේ සෑම දෙයක්ම වෙන්නේ සැලසුමකට අනුවයි. අපි මේ ගමන යන්නේ 2020ට  ත් -2025 ත් ට බලපාන පරිදි  සැලසුම් දෙකක් අනුවයි. එතැනදී පරිපාලන රාජකාරිවලට සිටින භට පිරිස් අවම කර ඔවුන් ක්ෂේත‍්‍ර රාජකාරි සඳහා යොමු කරන්නේ කෙසේ දැයි අපි බලනවා.

 

උදාහරණයක් වශයෙන් කිව්වොත්  ගමක පාසල් දෙකක් තියනවා. මේ පාසල් දෙක තියෙන්නේ කිලෝ මීටර් 1 1/2 ක සීමාවක. එක් පාසලක ළමයි 35ක්  ඉන්නවා. අනිත් පාසලේ ළමයි 50ක් ඉන්නවා. මේ පාසල් දෙකේ දුර කිලෝමීටර දෙකක්වත් නැහැ. මේ පාසල් දෙකම දුවන්න  ඕනේ. මේ දෙකටම විදුහල්පතිවරුන් සහ ගුරු මණ්ඩලය  ඕනේ. අපි මේ කරන්නේ  එම පාසල් දෙකම තිබියදී ඉන්න විදුහල්පතිවරුන් දෙදෙනා හා ගුරු මණ්ඩලය එකක් බවට පත් කිරීම හා සමාන වැඩක්. එතකොට තවත් පිරිසක් ඉතිරි වෙනවා. ඉහත කි‍්‍රයාවලියේ දී සිදුවන්නෙත් එයයි. පරිපාලනයට ඉන්න කණ්ඩායම් දෙක ඒකාබද්ධ කිරීමෙන්  භට පිරිස් පිරිස් ඉතුරු  වෙනවා. පරිපාලනය කරන අය ක්ෂේත‍්‍ර රාජකාරි සඳහා යොමු වෙනවා.  මෙමගින් ඇත්තටම සිදුවන්නේ අපේ සම්පත් වැඩි වී අපි ශක්තිමත් වීමයි.

 

මේක තේරුම් ගන්නේ නැතිව එක්තරා දේශපාලන පක්ෂයක මන්ති‍්‍රවරයෙක්  බල ඇණි 33 ක් වහනවා කියලා ප‍්‍රකාශයක් කර තිබුණා. 1600 ගානක් සෙසු නිළයින් හා 23000  විශාල පිරිසක් ඉවත් කරනවා කියලා. ඒ ඉලක්කම ආවේ කොහොමද  කියලා මට තේරුම් ගන්න බැහැ.

 

ප‍්‍රශ්නය- උතුරේ ජනතාවට පාරම්පරික  ඉඩම් යළි හිමිවීම සතුටට කරුණක් වුවත් එම ඉඩම්  මුදාහැරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්  යැයි ඇතැමුන් කියනවා? 

 

පිළිතුර- උතුරු නැගෙනහිර ජීවත් වෙන්නේ අපේ ජනතාව. තමන්ගේ ඉඩම් ලබාගැනීමට ඔවුන්ට පාරම්පරික හෝ මානුෂිය අයිතියක් තිබෙනවා. මේක දකුණෙත් තියනවා.  දකුණේ එක වැටකට, පොල් ගෙඩියකට මිනි මරාගන්නා සමාජයක් මේක. නමුත් උතුරේ දුප්පත් ජනතාවගේ ඉඩම්  අපි බලෙන්  අල්ලාගෙන ඉන්න එක වැරදි. 

 

අපි සැලසුමකට අනුව  ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් නොවන අයුරින් තමයි මේ වැඩපිළිවෙලවල් කරන්නේ.  මේ සැලැස්ම හැදුවේ පසුගිය රජය සමයේ. ඒ වැඩසටහන තමයි දැන්  අපි කොටස් වශයෙන් කාලෙන් කාලෙට කරගෙන යන්නේ. නමුත්  ඔවුන් බලයෙන් ඉවත් වුනාම මේකට ආරක්ෂාව නැහැ කියලා ඔවුන්ම කියනවා. මේ විෂය දන්නේ ගොඩබිම සටන් කරන ශි‍්‍ර ලංකා යුද හමුදාව පමණයි. නැතිව වෙන වෘත්තියක නියැලෙන පිරිස් නෙමෙයි.

 

යුද හමුදාවට තියන දැනුම් ශක්තිය, පළපුරුද්ද හා  විජයග‍්‍රාහි මනස මගින් මේ රටට අවශ්‍ය සියලූ දේ සිදුකරන්න පු`ථවන් බව මේක තේරුම්ගත යුතුයි. එතැනදී වඩාත් හොඳ වන්නේ අපිට  අමතර පාඩම්, ටියුෂන් දීමෙන් වැළකී සිටිනවා නම් තමයි. වඩාත් හොඳ  ඔවුන්ගේ කාර්ය බාරයේ වගකීම් හිරියට ඉටුවෙනවා නම් තවත් අවුරුදු දහස් ගණනකට මේ ප‍්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒක නොකර අපේ වැඬේ ගැන කතා කරන එක තමයි දුර්වලකම.

 

 

ප‍්‍රශ්නය- පසුගිය කාලයේ ආයුධ සමග හිටපු එල් ටී ටී ඊ සමාජිකයන්  කිහිපදෙනෙකුම අත්අඩංගුවට පත් වුණා.  එමගින් පෙන්නේ පුනරුත්ථාපනය කර සමාජ ගතකිරීමේ කි‍්‍රයාවලියේ යම්  අසාර්ථක බවක් ද?

 

පිළිතුර - 12 100 ට වැඩි පිරිසක් අපි මේ දක්වා පුනරුත්ථාපනය  කරලා තියනවා. යුද්ධය නිම වී ගෙවෙන මේ 9 වැනි වසර තුළ මෙවැනි අකටයුතුකම්වලට සම්බන්ධව තිබෙන්නේ මින් කී දෙනක්  ද? අතලොස්සක් පමණයි. මේක අසාර්ථයකි කියලා එම ප‍්‍රතිශතයෙන් කාටත් මනින්න බැහැ. මේක  ඉතාමත් සාර්ථක ක‍්‍රමවේදයක්. මේ පිරිසෙන් 80ක් 90ක් පමණ නැවත අවි අරගත්තා නම් මෙය අසාර්ථකයි කියලා කියන්න පුළුවන්.  මින් සියයට 97 -98 පිරිස ඉන්නේ පුනරුථාපනය වෙලා නැවත යුද්ධයකට යන්න අවශ්‍ය නැතැයි කියන මතයේයි. මේ වැඩසටහන සාර්ථක බව මම නොබියව කියනවා. මෙසේ සම්බන්ධ වී සිටින අතලොස්සක් දෙනාත් නැවත වතාවක් පුනරුත්ථාපනය කර සමාජ ගත කළොත් මේ ප‍්‍රශ්නය ස්ථිරසාරව විදසන්න පුළුවන්.

 

 

ප‍්‍රශ්නය- ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වෙනවා. එයට ප‍්‍රතිචාර ලෙසට  ඔවුන්ට දැනෙන යමක් හමුදාව මෙතෙක් කර නැතැයි යන්න හමුදාවට නැගෙන තවත් චෝදනාවක් 

 

පිළිතුර- ප‍්‍රශ්නයක් ඇති වෙලා තියනවානම් ප‍්‍රශ්නය මුහුණ දීලා එය විසඳාගැනීම යුද හමුදාවේ  කාර්යභාරයයි. චෝදනා තියනවා නම් ඒ සඳහා වගකියයුතු, කටයුතු කළයුතු ආයතන තියනවා. ඔවුන් මේ සඳහා යම් වැඩකොටසක්  සිදුකරමින් පවතිනවා. යුද හමුදාව වශයෙන් කෙලින්ම ගිහින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය ඇතුළු අදාළ  ආයතන සමඟ සාකච්ඡා කිරීමට අපිට බැහැ. ආරක්ෂක අමාත්‍යාංශය, විදෙස් කටයුතු අමාත්‍යාංශය තියනවා. ඒ සඳහා ක‍්‍රමවේදයක් තියනවා. ඒ ක‍්‍රමවේදය අනුව අපි යන්න  ඕනෑ.  පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ අපි  විදේශ කි‍්‍රයාන්විත රාජකාරි කියලා අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටෙව්වා. එය හැදුවේ එක්සත් ජාතීන්ගේ රාජකාරි වෙනුවෙන්මයි.

 

හමුදාපති වශයෙන් පත් වු පසු මම ඔවුන්ට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට විෂය පථයක් දුන්නා. එම කටයුතුවල දක්ෂ පළපුරුදු නිලධාරීන් පිරිසක් නිරතව සිටිනවා.  පසුගිය වසරේ ඔටාවා බිම්බෝම්බ ඉවත් කිරීමේ  ගිවිසුම ඇතුළුව ගිවිසුම් දෙකකට අපි අස්සන් කළා. එය කළේ ප‍්‍රථම වතාවටයි. බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවමත් සිදුවෙනවා. අපි මේ විෂය පථය හොඳින් දන්නවා. අපි කළේ ඒවා දැනෙන්න. අතුරුදන් වු අයගේ කොමිසමට අපි සහය දක්වන්නේත් ඒ ගමන යා යුතු නිසයි.

 

ප‍්‍රශ්නය- හිටපු  හමුදා ප‍්‍රධානියෙක් මෑතකදී තමන්ගේ යුද අත්දැකීම් සම්බන්ධයෙන් පලකළ එක්තරා කෘතියක් යුද හමුදාවට  පාරාවල්ලක් වී ඇති බව ඇතැමුන් කියනවා.  අවසන් යුද පෙරමුණේ සිටි  හමුදා නිලධාරියෙක් වශයෙන් මේ චෝදනාවන් ගැන මොනවාද කියන්නේ ? 

 

පිළිතුර- අවංකව මම ඒ පොත කියෙව්වේ නැහැ. පොත කියවපු  අය කියන දේවල් මම අහගෙන ඉදලා තියනවා.  මොකද  මේ කාල සීමාවේදී අපිත් හමුදාවේ රාජකාරි කළා.  පාරාවළල්ලක් කෙසේ වෙතත් ඉදිරි අනාගතය ගැන කල්පනා කළාම   රටට යුද හමුදාවට එල්ල වී ඇති   ජාත්‍යන්තර  චෝදනා බලපෑම් අනුව  සෑම  දෙයක්ම සිහිබුද්ධියෙන් කළ යුතු යැයි මම හිතනවා. මේ කෘතිය තුළ මොකක් අන්තර්ගත වුණත්  වැරදි වෙලාවක තමයි මේක එළි දකින්නේ.  ඒකේ  එක් වචනයක්, වාක්‍යකදි, හිඩැසකදී  යුද හමුදාවට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්න කෙනෙක්ට පුළුවන්.

 

ඕනෑම රටක යුද්ධයක් ඉවර වුණාට පස්සේ  ඒ ගැන ලියන්න කියන්න කාලයක් තියනවා. මේ ඊට උචිත කාලය නෙවෙයි. මේවගේ දේවල් ලියන්න කියන්න  ඕනේ හමුදාවට අධ්‍යාපනයක් ලැබීමට හා හමුදාව හැදීමේ අරමුණෙන් මිසක්  ඒ ලියන කියන දේවල් වලින් හමුදාවේ අනිත් අයට කරදරයක් වෙන්න නොවෙයි. මේකේ මොකක් හරි අන්තර් ගතවෙලා තියනවායම් දුක් විදින්නේ  දැන් වැඩකරන සෙබළා සහ  සටන්  කරපු සෙබළායි. ඒ මිසක් ඒ මහත්වරුන් නෙමෙයි. මහත්වරුන් කියන්නේ කිහිපදෙනයි. අනිත් අයට හමුදාවේ  එහෙම  කිසිම කලබලයක් නැහැ.  එක්සත්  ජාතින්ගේ සංවිධානයේ කටයුතු වලට යන අයගේ අතීත කි‍්‍රයා කලාපයන් පිළිබඳ තොරතුරු  හොයනවා. මේ ලියන පොත් හා කරන කතා නිසා යම් යම් ප‍්‍රමාදයක්  හමුදාවට වෙනවා.  ඒ පොත විතරක් නෙවෙයි. හමුදාවෙන් විශ‍්‍රාම ගිහිල්ලා නිවේදන නිකුත් කරමින්  කතා කරන අය නිසාත් සෙබළු සිටින්නේ  අපහසුතාවයට පත්වෙලයි.

 

ප‍්‍රශ්නය- ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා ඔබට වසරක සේවා දිගුවක් ලබාදුන්නා. මේ සම්බන්ධයෙන්  මොකක්ද කියන්න තියෙන්නේ  ?

 

පිළිතුර- පෞද්ගලිකව සතුටු වෙනවාට වඩා මෙහිදී මා දකින්නේ මා ඇතුළු සමස්ත හමුදාවේ    නිලධාරීන් , සෙසු නිළයින් එකතුව පසුගිය වසරකදී  කළ රාජකාරිය කෙරෙහි   ජනාධිපතිතුමා  සෑහීමට පත්වීමට දැක් වූ ප‍්‍රතිචාරයක් හැටියටයි. ඒ සඳහා  ඔහුට  උපදෙස් දෙන  පිරිස්  අප කළ සේවය අගයා තිබෙනවා.  ඒ වෙනුවෙන් සතුටු වෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාට මගේ  ස්තූතිය ප‍්‍රකාශ කරනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන්  කැපවෙන,  දේශපානඥයින්ට ඇඟිලිගැසිය නොහැකි විජයග‍්‍රාහී ශක්තිමත් හමුදාව තමයි ඉදිරියටත් ඉන්නේ. මම ඉන්නේ මේ කණ්ඩායමේ නායකයා වශයෙන්.   අප ශක්තිමත්ව මේ ගමන යනවා.

 

 

ප‍්‍රශ්නය-  මෙම සේවා දිගුව ලබා දීම එරෙහිව  ඇතැමුන් නොයෙක් ප‍්‍රකාශ සිදු කළා. ඒ අතර දන්නා හදුනන දේශපාලනඥයෙක් ද සිටිනවා . ඒ පිරිස ඔබ සමඟ අමනාප ඇයි ?

 

පිළිතුර- මම එහෙම දකින්නේ නැහැ. කා ගැනද කථා කරන්නේ කියලා මට හිතා ගන්න පුළුවන්. මට තියෙන්නේ හමුදාවේ ශක්තිය  කියලා මම කලින් කිව්වා. එම නිසා මම හමුදාවට  ඕන දේ කරනවා මිසක  කෙනෙක් දෙන්නෙක්ට  අවශ්‍ය දේ කරන්නේ නැහැ.   මාව මෙම තනතුරින් ඉවත් කරනකම් මම ඒ කාර්ය සතුටින් කරනවා.  මම කා එකක්වත්  අමනාප නැහැ. පත් වුණාට පස්සේ කාගෙන්වත් පලිගන්න ගියේ නැහැ.  ඉතිහාසයේ  මට වුණ දේවල් දිහා බලන විට  චෝදනාවත් නැතිව හමුදාවෙන් යවලා  යළි ගෙන්වපු එකම නිලධාරියා මමයි. හමුදාපති කරනවා කියලා මාව ගේනකොට කිව්වේ නැහැ. මම ආවේ තාවකාලිකවයි. යාපනයේ මට විශාල රාජකාරියක් බාර දුන්නා. මම එය උපරිමයෙන්ම කළා. ඒක හරි කියලා බහුතර කොටසක් හිතුවා. මට මේ තනතුර බාර දිලා තියනවා. මේක හෙට බාර දෙන්න කිව්වොත්   මට ඒ ගැන කිසිම කනස්සල්ලක් නැහැ.  මම කා එක්කවත් ඒ පිළිබඳ තරහා වෙන්නෙත් නැහැ.  මම ඔවුන් කෙරෙහි අනුකම්පා කරනවා. ඒ මම  විශ්වාස කරන ධර්මයයි.

 

සංවාද සටහන - ඉන්දිකා රාමනායක