2020 ට ගණන් බැලීම



පසුගිය දිනෙක මුදල් හා මාධ්‍ය ඇමැති මංගල සමරවීර ඔහුගේම පක්ෂයට කොන්දේසියක් පනවා තිබිණ. පක්ෂ නායක හා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඊළඟ ආණ්ඩුවේ අගමැති ලෙසත් නොපමාව නම් කළ යුතු යැයි ඔහු කියා තිබිණ. එය එක්තරා ආකාරයකට පසුගිය විශ්වාසභංග යෝජනාව විසින් ඇති කළ පක්ෂ අර්බුදය සමථයකට පත්කිරීමේ යෝජනාවක් සේම, පක්ෂය ජනාධිපතිවරණයකට සූදානම් කිරීමේ පියවරක් ලෙසද තේරුම්ගත හැකිය.

සමරවීර ඇමැතිගේ කොන්දේසිය පැනවෙන්නේ ඊට සතියකට පමණ කලින් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් මාධ්‍ය වෙත කියූ පොදු අපේක්ෂකයකු සම්බන්ධ කතාවටද පිළිතුරක් ලෙසිනි. ඊළඟ ජනාධිපතිවරණය සඳහා රාජිත සේනාරත්න ඇමැතිගේ පොදු අපේක්ෂකයා සම්බන්ධ යෝජනාවෙහි දේශපාලන තර්කයට පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ප්‍රතිඵලද බලපෑවකි. යහපාලන ආණ්ඩුවේ දෙපාර්ශ්වය වෙන වෙනම තරග කර ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව වූ ලක්ෂ 48, මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ලබාගත් ඡන්ද ලක්ෂ 62ට වඩා ලක්ෂ 14ක් අඩු විය. එපමණක් නොව, මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය ඔවුන් දෙගොල්ලගේ ඡන්ද එකතුවට වඩා ලක්ෂ 02ක් වැඩි විය. එබැවින් පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 36ක් ලබාගත් එ.ජා.පයට තනිව තරග කර ඊළඟ ජනාධිපතිවරණයේදී දිනිය නොහැකි යැයි ඔහුගේ මතය වන්නේය.

ඒවගේම, ඔහුගේ පොදු අපේක්ෂක යෝජනාවෙහි රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එ.ජා.පයේ ඉහළ තලයේ ඇති අවිශ්වාසයද පදනම් කරගනු ලැබූවකි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මැතිවරණ දිනන්නට නොහැකි යැයි මතයක් 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු එ.ජා.ප. අභ්‍යන්තරයේ පැලපදියම් වූවකි. කරු ජයසූරිය, රාජිත සේනාරත්න, බන්දුල ගුණවර්ධන ඇතුළු 17කු එ.ජා.පයෙන් ඉවත්ව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට හේත්තු වූයේද එබැවින් ය. සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී එ.ජා.පය පිළිගත් පොදු අපේක්ෂකයා වූයේද ඒ නිසාමය. 2014 සැප්තැම්බරයේ ඌව පළාත් සභා මැතිවරණය දිනා ගැනීමෙන් පසුවද එ.ජා.පයේ ප්‍රබලයින් ජනාධිපතිවරණයට තනිව පක්ෂයක් ලෙස තරග කරන්නට සූදානම් නොවූයේද රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් ප්‍රමාණවත් නොවේ යැයි තිබූ දැඩි විශ්වාසය නිසා ය. එය කොළඹ මැද පාංතික සමාජයේද මතය වූයෙන් ඔවුහු පොදු අපේක්ෂකයකු සොයන්නට වූහ. දෙවන වරටත් 2015 ජනාධිපතිවරණය සඳහා එ.ජා.පය පොදු අපේක්ෂකයකු සෙවූයේත් මෛත්‍රීපාල සිරිසේන ඒ පොදු අපේක්ෂකයා වූයේත් ඒ අනුවය.

එ.ජා.පයේ ඒ මතය තවමත් වෙනස්ව නොමැති බැව් ඔප්පු වූයේ විශ්වාසභංගය සමග පක්ෂ අභ්‍යන්තරයේ පැන නැඟි කැරැල්ල සමගින්ය. ඔවුන් ඉල්ලා සිටි ප්‍රතිසංස්කරණවල යටිපෙළ අරුත වූයේ “ගමට ගෙන යා හැකි අලුත් නායකයකු” සෙවීමය. එක පැත්තකින් මංගල සමරවීරත් අනෙක් පැත්තෙන් රාජිත සේනාරත්නත් උත්තර දෙන්නේ ඒ දිනන්න හැකි නායකයා සෙවීම වෙනුවෙනි. ඒ යෝජනා දෙකෙහි ඇති වලංගු බව කෙතරම්ද යන්න එනමුත් ප්‍රශ්නයකි. 

මේ වනවිට එවැනි විවිධ අත්හදා බැලීම් ගැන කොළඹ මැද පාන්තික දේශපාලනයෙහි බෙහෙවින් අසන්නට ඇත. ජ.වි.පෙ ඉදිරිපත් කරන්නට සූදානම් යැයි කියන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ඒ වර්ගයේම යෝජනාවකි. ඔවුන්ද දෙවරක් පොදු අපේක්ෂකයන් පසුපස ගිය තමන්ගේ යැයි අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට නොහැකි පක්ෂයකි. ඔවුන්ටද මංගල සමරවීර ඇමැතිට මෙන්ම නැවත වරක් පොදු අපේක්ෂකයකු පිටුපස තෙවන වරටත් යා නොහැක. එහි අනෙක් ඛේදවාචකය නම්, දිනුවත් පැරදුනත් පොදු අපේක්ෂක ව්‍යාපෘතියට හවුල්වන හැමට පරාජයකි. එහි ඉතිරිවන්නේ ජනාධිපති අසුනේ වාඩිවන්නාගේ පෞද්ගලික ජයග්‍රහණය පමණි. 2015 ජනවාරියේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ හැමට විඳින්නට සිදුව ඇත්තේ එවැනි පරාජයකි. එබැවින් ජ.වි.පෙට ඊළඟ වටයේදී තනිව තමන්ගේ දේශපාලනය ඉදිරිපත් කිරීමට හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණය ආණ්ඩු හැදීමේ එකම මැතිවරණය බවට පත්වුවහොත් පමණි. ඒ සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔවුන් උනන්දු වන්නේ, එයද 2015 ජනාධිපතිවරණයේ මූලික හා ප්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි බැවින්ය.

එය රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ පක්ෂයේ මංගල සමරවීරගේ අදහසට එකඟ නොවන අනෙකුන්ටද ගැලවිල්ලක් විය හැක. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ විට ඔවුන්ටද පාර්ලිමේන්තු මැතිවරණයකින් ආණ්ඩුවක් හැදීමේ වැඩි අවස්ථාවක් තිබිය හැකි යැයි ගණන් හැදීම පහසු වන්නකි. පසුගිය මහ මැතිවරණයේදී මෙන් බහුතර බලයක් නොමැති වූවත් වැඩි ආසන සංඛ්‍යාවක් සමගින් ආණ්ඩු හැදිය හැකි දේශපාලන සංස්කෘතියක් අපේ පක්ෂ දේශපාලනයේ ආවේණික ලක්ෂණයක්ව ඇති බැවින්ය.

වර්තමාන දේශපාලනයේ එනමුත් නැවත සැවොම ප්‍රතිචාර දක්වන්නේ මහින්ද රාජපක්ෂගේ දේශපාලනයටය. යහපාලන ආණ්ඩුවට ගැට ගැසී ඉන්නා සැවොම උත්තර හොයන්නට උත්සාහ කරන්නේ රාජපක්ෂ පැරදවීමටය. එබැවින් මංගල සමරවීර ගණන් හදන්නේ මහින්ද රාජපක්ෂට තරග කළ නොහැකි ඊළඟ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමටය. එයත් සූදු කෙළීමක් වැනිය. එ.ජා.පයට එරෙහිව සිංහල බෞද්ධ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ උත්සාහය කොළඹ සිංහල බෞද්ධ මැද පාන්තික කාණ්ඩ අතහැර නොමැති හෙයින්ය.

එවැනි තේරීමක එ.ජා.පයට මෙන්ම මහින්ද රාජපක්ෂටද ගැටලුවක් ඇත. තමන්ට තරග කළ නොහැකි ඊළඟ ජනාධිපතිවරණයේදී වෙනත් සිංහල බෞද්ධ අපේක්ෂකයකුට හෝ එ.ජා.පයට තරග කර දිනන්නට ඉඩ තැබුවහොත් එතැනින් පසු ඔහුගේ පමණක් නොව, ඊළග රාජපක්ෂ පරම්පරාවේද දේශපාලනය එතැනින් අහවර වන්නේය. එබැවින් මහමැතිවරණයක් ඔහුටද අවශ්‍යව තිබෙන්නකි. එහෙත් එය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් ලබා ගන්නේද නැති නම් 2020 ජනාධිපතිවරණයට කලින් ලබාගත හැකිද යන්න ඔහු තවමත් විසඳා ගෙන නැති තේරීමකි. ඔහුගේ ඒ අතීරණය පැහැදිලි වන්නේ වහා මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව දැන් ඔහු සමග දේශපාලනිකව ඉතිරිව ඉන්නා දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර අවධාරණය කිරීම නිසාම නොවේ. ඔවුන් ජ.වි.පෙ සූදානම් කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන පැහැදිලි ස්ථාවරයක් නොගෙන ඇති අතර, මහ මැතිවරණයක් සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්නේ නම් එය සලකා බැලිය හැකි යැයි මිස එයට සහාය දෙන්නේ යැයි මහින්ද රාජපක්ෂ නොකීව හෙයිනි.

ජයවර්ධන ජනාධිපති විශ්‍රාම ගැනීමෙන් පසුවද කිහිපවර කියා තිබූ පරිදි මේ විධායක ජනාධිපති ධුරයේ රස බැලූවකු එය අත්හරින්නට සූදානම් නැත. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රසිද්ධ ලිඛිත පොරොන්දුවක් 1994 සැප්තැම්බරයේදී දුන් චන්ද්‍රිකා කුමාරතුංගට, ජනාධිපති වූ විගස එය අමතක විය. ඇය දෙවරක්ම ජනාධිපති වූවාය. ඉන් පසු හැම පක්ෂ නායකයකුම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට පොරොන්දු දුන්නත් 1994 සිට මේ වන විට අවුරුදු 24ක් එය තවමත් අහෝසි නොකෙරුණකි. 2015 ජනවාරියේදී නිදහස් චතුරශ්‍රයේ සිට ජනතාව අමතා “මේ මම තරග කළ පළමු ජනාධිපතිවරණය මෙන්ම, මා තරග කරන අවසන් ජනාධිපතිවරණය වන්නේ” යැයි කියූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිද දිනුම් පැරදුම් කෙසේ වෙතත් නැවත ජනාධිපතිවරණයකට මුහුණ දෙන්නට සූදානම් වන බව නොකියා කියන්නකි.

ජනාධිපති ධුරය සතු අසීමිත බලයට ඇති ඒ කෑදරකම මහින්ද රාජපක්ෂගෙන් ගිලිහී ඇතැයි සිතීම උගහටය. ඔහුට පමණක් නොව, එහි බලය බුක්තිවිඳි ඔහුගේ පවුලේ අයටද එය “එපා” වන්නට නොහැක. එබැවින් ඔහු තවමත් ගණන් බලනු ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර, 2020 ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගත හැකිද යන්නය. පාර්ලිමේන්තු මැතිවරණයකින් ආණ්ඩුවක් හැදීමේ දැඩි විශ්වාසයක් රාජපක්ෂ පවුලේ ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දිස්ත්‍රික්ක මට්ටමින් පාර්ලිමේන්තු මැතිවරණයකට ආරෝපණය කළ විට මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයට බහුතර බලයක් සඳහා මන්ත්‍රීවරුන් 115ක් පමණ ඇත. ආණ්ඩු බලය තීන්දු කරන්නාවූ පාර්ලිමේන්තු මැතිවරණයකදී එය වැඩි වනු ඇතැයි ඔවුන්ගේ ගණන් බැලීමය. ඒ අනුව, මහ මැතිවරණයකින් ආණ්ඩුවක් හැදූ විගස තුනෙන් දෙකක බලයක් හදා ගැනීමට කිසිදු බාධාවක් නැතැයි කාටත් කිව හැකි අනාවැකියකි. එසේ වුවහොත් නැවත 18 වන ව්‍යවස්ථා සංශෝධනය අලුත් ආකාරයකට ඉදිරිපත් කිරීමෙන් 1977 පෙබරවාරියේ ජනාධිපතිවරණයකින් තොරව අගමැති ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති වූ අයුරු තමන්ටද නැවත ජනාධිපති වන්නට හැකි යැයි මහින්ද රාජපක්ෂ ගණන් බැලිය හැක. එවැන්නකට කිසිදු ඉඩක් නැතැයි ඔහුට ඒත්තු ගියහොත් පමණක් ඔහු ජ.වි.පෙ. සූදානම් වන 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වනු ඇතැයි අනුමාන කළ හැක්කකි.

මේ සියලු සූත්තරවල ඇත්තේ මේ රටේ ජනතාව ගැන කතා නොවේ. මේ සියල්ලෙහි ඇත්තේ පුද්ගලබද්ධ තේරීම් පමණි. ඒ කිසිවක මේ රටේ ඉදිරි සංවර්ධනය ගැන කතා නොමැත්තේද එබැවින්ය. ජාතික සංවර්ධනය ගැන කතාව අවුරුදු 40ක අසාර්ථක විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට මේ සැවොම බාර කරන්නකි. එය ප්‍රශ්න කෙරෙන සමාජ කතිකාවක්ද සමාජයේ නැත. එබැවින් තවමත් අප නතරව ඉන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක නොව, නැවත නැවතත් අසාර්ථක වූ පුද්ගලයන් තේරීමේ බාල, බොළඳ සිංහල බෞද්ධ දේශපාලනයකින් පාඩම් ඉගෙන නොගන්නා සමාජයකය. අවාසනාව අලුත් පරම්පරාවන්ද විකල්ප සෙවීමකින් තොරව එහිම නතරව සිටීමය.

කුසල් පෙරේරා විසිනි