21 වැනි සංශෝධනයට පක්ෂවල ඒකමිතියක් ඕනෑ


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 21 වැනි වරටත් සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. මේ පිළිබඳව හටගෙන ඇති සංවාද විසංවාද සහ සමාජ කථිකාවන් ගණනාවකි. සරල අරුතින් ගත් කල 21 වැනි සංශෝධනයට පක්ෂ හා විපක්ෂ මත ගැටෙන්නට පටන්ගෙන ඇති බව පැහැදිලිය. රටට දැයට බලපාන කිසියම් කාරණයක් ගැන සමාජ සංවාදයක් ඇතිවීම වරදක් නොවේ. සංවාදයෙන් හා මතගැටුම්වලින් වඩාත් සාධනීය ප්‍රතිඵල ලබාගත හැකි බව පිළිගත් සත්‍යයයි. එහෙත් ඒ සඳහා කෙරෙන සංවාදය සාර්ථක වන්නට නම් එම සංවාදය පටු අරමුණුවලින් ඔබ්බට ගිය පුළුල් මතවාදී සන්දර්භයක් නියෝජනය කළ යුතුය.

මෙයට දෙසතියකට පමණ පෙර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ සිට එහි ගුණ දොස්, විවේචන අපට අසන්නට ලැබී ඇත. මේවා බොහොමයක් ඉදිරිපත්ව ඇත්තේ දේශපාලන පක්ෂ මට්ටමිනි. ඊට අමතරව සිවිල් සංවිධාන ගණනාවක්ද 21ට පක්ෂව සිය මත එළිදක්වා තිබේ. මේ සියල්ල අතර මහා සංඝරත්නය නියෝජනය කරමින් වඩාත් ප්‍රබල ලෙස අදහස් ප්‍රකාශ කර තිබුණේ අස්ගිරි පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක රාජකීය පණ්ඩිත ආනමඩුවේ ධම්මදස්සී නායක හිමිපාණන් විසිනි. උන්වහන්සේට අනුව ව්‍යවස්ථා සංශෝධනය වැදගත් වුවද රටේ මේ අවස්ථාවේ පවත්නා බැරෑරුම් ප්‍රශ්න පත්‍රයේ ප්‍රමුඛතම කාරණාව එය නොවේ. නාහිමියන් පවසන අන්දමට ජනතාව පීඩාවට පත් කරන බරපතළ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සැපයීම ආණ්ඩුව විසින් වහා ඉටුකළ යුතු ප්‍රමුඛතම කාර්යභාරයයි. ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු සෙසු කාරණා පවත්නා බරපතළ ආර්ථික අර්බුදය හමුවේ දෙවැනි වන බවද සඳහන් කර තිබේ.

දේශපාලන පක්ෂ මට්ටමෙන් ගත් කල ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ප්‍රකාශ කර ඇත්තේ 21 වැනි සංශෝධනය මේ ආකාරයෙන්ම පිළිගැනීමට සූදානම් නැති බවයි. මෙයටත් වඩා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පුළුල් වන සංශෝධනයක් අවශ්‍ය බව එම පක්ෂවල අදහසයි. විශේෂයෙන් සමගි ජන බලවේගය කියා තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වී තිබූ වැදගත් යෝජනා ගණනාවක් 21 වැනි සංශෝධනයේ අන්තර්ගතව නොමැති වගය. ඒ ගැන ඉදිරියේදී සිය පක්ෂය තීන්දුවක් ගන්නා බව සජබ සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ඔවුන් සංශෝධනයට විපක්ෂ වන බවක් කියා නැත.

ආණ්ඩු පක්ෂය තුළ 21 වැනි සංශෝධනය ගැන දක්නට ඇත්තේ මිශ්‍ර මතයකි. පිරිසක් ඊට පක්ෂය. පිරිසක් ඊට විපක්ෂය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පැවති පක්ෂ නායක හමුවේදී ප්‍රකාශ කළේ 21 වැනි සංශෝධනයට තමන් අනුමැතිය දුන් වගය. ජනාධිපති සතු විධායක බලතලවලින් කොටසක් පාර්ලිමේන්තුවට පැවරීමට තමන් මනාප යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් විය. විධායක ජනාධිපති සතු පූර්ණ බලතලවලින් කොටසක් මැතිසබයට පැවරීම යුක්ති සහගත සහ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් බව පැවසිය යුතුය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේදීත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ ආකාරයට තමන් සතු බලතලවලින් කොටසක් මැතිසබයට පවරා දුනි. එහෙත් අනතුරුව ගෙන ආ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒවා නැවතත් ජනාධිපති ධුරය යටතේ කේන්ද්‍රගත විය.

වත්මන් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ බොහෝ දෙනා තුළ පවත්නා විරෝධයට බලපාන එක් සැඟවුණු හේතුවක් විය හැක්කේ පොහොට්ටුව නිර්මාණය කළ මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයයි. ද්විත්ව පුරවැසිභාවය සහිත අයට මහජන මන්ත්‍රී ධුර දැරිය නොහැකි බවට වන වගන්තියක් 21 වැනි සංශෝධනයේ අන්තර්ගතය. පොහොට්ටුවේ කිසිදු මන්ත්‍රීවරයෙක් මේ ගැන ප්‍රසිද්ධියේ සඳහන් කරමින් සිය විරෝධය ප්‍රකාශ කර නැතත් බැසිල් හිතවාදී පොහොට්ටු මන්ත්‍රීන් 21 වැනි සංශෝධනයට සැබැවින්ම විරැද්ධ වන්නේ එමඟින් ස්වකීය පක්ෂයේ නිර්මාතෘවරයාගේ මන්ත්‍රී පදවිය අහෝසි විය හැකි නිසාය යන්න අප්‍රකාශිත සත්‍යයයි. එය උගුරට හොරා බෙහෙත් කෑම වැනි තත්ත්වයකි. මෙහි හොඳ නරක පාර්ලිමේන්තුව සහ රටේ බහුතර ජනතාව විසින් නිශ්චය කළ යුතු කරුණක් බව පමණක් සඳහන් කරනු වටී.

ඉදිරිපත්ව ඇති 21 වැනි සංශෝධනයෙහි යහපත් අංග ගණනාවක් ඇතුළත්ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීම පිණිස ස්වාධීන කොමිෂන් සභාවලට මෙකී ව්‍යවස්ථා වෙනසින් පුළුල් බලතල පැවරීම අගය කළ යුතුය. එසේම පසුගිය කාලයේ යෝජනා වූ ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම නැවත ස්ථාපිත කිරීමට උත්සාහ කිරීම යහපත්ය. පවත්නා දූෂිත දේශපාලන හා ආර්ථික තීන්දුවලට වැට බැඳීම යුගයෙහි අවශ්‍යතාවකි. ඒ හැර මැතිසබයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට වැඩි බලතල පැවරීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට හැකිවන ලෙස මැතිවරණ කොමිසමට පුළුල් බලතල පැවරීම සඳහා වන යෝජනාවද ප්‍රශස්තය. එසේම අගමැතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුය යන යෝජනාව ගැන ද දොසක් කිව නොහැක.

පොදුවේ ගත් කල එබඳු යහපත් අංග ගණනාවක් 21 වැනි සංශෝධනයේ අන්තර්ගත වේ. එහෙත් ඒ ඒ දේශපාලන පක්ෂ හා ජාතික සංවිධානවල ප්‍රතිපත්තිවලට සාපේක්ෂව ඇතැම් යෝජනාවලට විවිධ සමාජ කණ්ඩායම් දැන් සිටම විරෝධය පළ කර තිබේ. විධායක ජනාධිපතිවරයාගේ බලය අඩුකිරීමට සහමුලින් විරුද්ධ වන බව ඇතැම් ජාතික සංවිධාන ප්‍රකාශ කර ඇත. මේ ආකාරයට විවිධ මතගැටුම් මධ්‍යයේ ව්‍යවස්ථා සංශෝධනය සමාජගත වෙමින් පවතී. ඉදිරියේදී මෙය ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනයකටද ලක්වනු ඇත යන්න අපේක්ෂිත කාරණයකි. ඒ කෙසේ වුවත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට සිය හෘද සාක්ෂියට එකඟව 21 වැනි සංශෝධනයට පක්ෂ වීමට හෝ විපක්ෂ වීමට යෝග්‍ය වාතාවරණයක් රටේ පැවතීම ඉතා වැදගත්ය. 21ට ඡන්දය නොදී ගමට එන්නට එපා යැයි සමහර පාර්ශ්ව විසින් සැර වැර ප්‍රකාශ නිකුත් කර ඇති බවට මහජන නියෝජිතයෝ චෝදනා කරති. මෙම සංශෝධනයේ අරමුණ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින්ම පුළුල් කිරීම නම් එවැනි කතා හා ක්‍රියා තුළින් තමන්ගේ ශුද්ධ වූ අරමුණෙහි හරය නිශේධ වන බව සඳහන් කරනු වටී.

(***)