87 ආණ්ඩුව හෙල්ලුම් කෑ පාර්ලිමේන්තු බෝම්බය


1987  ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රට පුරා ආරක්ෂක තත්වය අතිශය ව්‍යාකූලත්වයට පත්විය. ජවිපෙ තුවක්කු ආණ්ඩු පක්ෂ වෙතද ආණ්ඩු පක්ෂයේ තුවක්කු ජවිපෙ හා විපක්ෂය වෙතද එල්ල වූයේ රටම අඳුරු ආගාධයකට යොමු කරවමිනි.

ඉන්දීය බලපෑමට යටත් වූ බව කියමින් ජවිපෙ ජනාධිපති ජයවර්ධනට එල්ල කළ චෝදනාව විපක්ෂය විසින්ද එල්ල කරන ලදී. එහෙයින් රට වැසියන් තුළත් පැවතුණේ ජේ.ආර්. ඉන්දියාවට රට පාවා දුන්නාය යන හැඟීමය. ඉන්දියාවේ බලපෑම මත ඇති කරන ලද පළාත් සභා ජනතා විරෝධයට හේතු වූ තවත් ඒකකයක් විය. පාසල් සිසුන් පවා ‘‘පලා බබා’’ අපට එපා කියමින් උද්ඝෝෂණවලට එක්වූයේ ආණ්ඩු විරෝධය තව තවත් තීව්‍ර කරමිනි.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ ජුලි මාසයේදීය. ඉන්පසුව එළඹුණු අගෝස්තු මාසය පුරාම ලකාව ආතතියෙන් පිරි  තිබුණි. ඉන්දු ලකා ගිවිසුම අත්සන් කිරීමට පෙර කල්තබනු ලැබූ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඇරඹීමට නියමිතව තිබුණේ අගෝස්තු 18 වැනිදාය. ජවිපෙ පාර්ලිමේන්තු සැසි වාරය කඩා කප්ලල් කිරීමට ඉඩ ඇති හෙයින් 18 වැනිදා සැසිය තවදුරටත් කල් දම්න්නැයි සමහර මන්ත්‍රීවරුන් පවා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණද ජනාධිපතිවරයා එම මතයට එකඟ වූයේ නැත. ඔහුගේ පිළිතුර වී තිබුණේ ත්‍රස්තවාදයට බියේ කටයුතු කළ නොහැකි බවය.

නියම කරගත් පරිදිම 18 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත විය. සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමද විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමද පැවැත්වීම සාමාන්‍ය පිළිවෙතය. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ඇරඹුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා Aහිදීය. උදෑසන 8.40ට රැස්වීම ආරම්භ විය. ඉන්පසු එයට දින කිහිපයකට පෙර කැරලිකරුවන් අතින් ඝාතනය වූ තංගල්ල දිසා ඇමති ජිනදාස වීරසිංහ  වෙනුවෙන් ශෝකය පළ කිරීමට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්විණි. හම්බන්තොට දිසා ඇමැති පී.ඇම්.බී සිරිල් ඉන්පසු වේදනාවෙන් හා ආවේගයෙන් කතා කළේ තමාගේ ගේදොර ද ගිනි බත්වීම ගැනය.

‘‘අද දිස්ත්‍රික්කයම කැරලි කාරයන්ට යටත්වෙලා වගෙයි. මේක අපේ ආණ්ඩුවක්ද? ඇයි ත්‍රස්තවාදීන් පාලනය කරන්ඩ බැරි මං ජීවිත කාලයම  මහන්සි වෙලා උපයා ගත් දේපොළ එකරැයින් ගිනි තියලා විනාශ කළා. මේ කඩා කප්පල්කාරීන්ට දැඩි පියවරක් ගත යුතුයි.....’’පී.ඇම්.බී. සිරිල් දිසා ඇමැතිවරයා කියා සිටියේ ආවේගයෙනි. ඉන්පසු කතා කිරීමට  නැගිට්ටේ  ඒ.ඩී.බී. ඒකනායක මන්ත්‍රීවරයාය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මේ සියලුම කතා සාවදානව අසා සිටියේය. ඒ සමගම කළු පැහැති යමක් ඔහු ඉදිරිපිට මේසයට වැටී බිමට පෙරලී තත්පර  ගණනාවක් විශාල පිපිරීමක් සිදුවිය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

එම සිදුවීමට අදට වසර තිස් හතක් ගතවී ගොසිනි. එහෙත් එදා එම පිපිරීමේ සුදු පැහැති දීප්තිය ඇසින් දුටු එහි සිටි  මන්ත්‍රීවරයකු අදටත් දේශපාලනයේ ක්‍රියාශීලීය. ඔහු බදුල්ල දිස්ත්‍රික් හිටපු  පාර්ලිමේන්තු  මන්ත්‍රී මහියංගනයේ ලක්ෂ්මන් සේනෙවිරත්නය. සෙනෙවිරත්න මහතා එදා ඒ බිහිසුණු මොහොත අප සමග සිහිපත්  කළේ මෙලෙසය.

‘‘ඒ කමිටු රැස්වීම් ශාලාව දිගයි. අපේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හැමදාම තියෙන්නේ ඒකෙ. ශාලාවේ ඉදිරි පසින්ම හෙඩ් ටේබල් එක, ජනාධිපතිතුමා  වාඩිවෙන්නෙ එතන. එතනට තව දොරක් තියෙනවා. කාමරයකට. පාර්ලිමේන්තුවෙ ඇතුළෙ ප්‍රධාන දොරටුවකින් ඒ කාමරයට එන්න පුලුවන්. අපි හිටපු ශාලාවට ඇතුළු වෙන්නයි. පිට වෙන්නයි තියෙන්නෙ එක දොරයි. බෝම්බ ගහපු පුද්ගලයා හැංගිලා ඉඳල තියෙන්නේ අර කාමරයේ. ඒකනායක නැගිටල කතා කරමින් හිටියේ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි හෙට් ටේබල් එකේ. එකපාරටම අර කාමරෙත් අතදාලා මොනව හරි විසි කරලා.... මේ තත්පර  ගානක වැඩක්. මමවත් දැක්කෙ නෑ.... මම දැක්කෙ ලොකු දීප්තියක් විහිදෙනවා. ඒ එක්කම පිපිරුණා. තවත් පාරක් පිපිරුවා..... දැන් එකම ගාල ගෝට්ටියයි.’’ හිටපු ඇමැති සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

ශාලාවට යාබදව ඇති කාමරයේ දොරෙන් සුදු පැහැති කමීස අතක් දිගු වූ බවත් එයින් පිට පිටම බෝම්බ දෙකක් දමා ගසන ලද බවත් ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත්මුදලි පසුව තම  කට උත්තරයේ දී කියා තිබුණේය. එක් බෝම්බයක් පෙරලී  ගොස් තිබුණේ ලලිත් ඇතුළත් මුදලි සිටි මේසය ළඟටය. එය පිපිරීමෙන් ඔහුගේ යටිකයට බරපතළ තුවාල සිදුවිය.

බෝම්බ ප්‍රහාර ඉලක්කය වූයේ ජනාධිපතිවරයාය. එහෙත් ඔහුට සීරීකමක්වත් සිදුවී තිබුණේ නැත. බෝම්බ පිපිරුමේ අධික ශබ්දය නිසා ඔහුගේ එක් කනක ශ්‍රවණ ඌණතාවක් ඇති විය. ඒ නිසා මිය යන තුරුම ජේ.ආර්.  එම ශ්‍රවණ උපකරණය පැළඳ සිටියේය. බෝම්බ ප්‍රහාරයෙන් එහි වාඩි වී ලඝු ලේඛනයේ යෙදෙමින් සිටි  පාර්ලිමේන්තු  නිලධාරියකු වූ නෝබට් සේනාධීර එම ස්ථානයේදීම මිය ගියේය. බරපතළ තුවාල වී සිටි මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම රෝහලට ගෙනයාමට පෙර මිය ගියේය.

‘‘ජනාධිපති තුමා බිරන්තට්ටු වෙලා හිටියා. අගමැති ප්‍රේමදාසට, ලලිත්ට තුවාලයි. මැති ඇමැතිවරුන් දහදොළොස් දෙනෙකුටම තුවාලයි.... ජනාධිපතිතුමා විතරක් නොවෙයි කවුද දෙයියනේ මේ වගේ පිපිරීමක් වුණාම බිරන්තට්ටු නොවෙන්නේ. ඒ මොහොතේ හැමෝම පුටු මේස යටට රිංගුවා.. ඒක එකම ගාල ගෝට්ටියක්. අරයට මොකද මෙයාට මොකද කියලා බලන්න කිසිම කෙනකුට  උනන්දුවක් නෑ... පණ බයනේ.. කට්ටියක් වීදුරුවක් කඩාගෙන එළියට පැන්නා. අධි ආරක්ෂාව තියෙන තැන කවුද හිතෙන්නේ මෙහෙම ගහයි කියලා....  ඊළඟට මටයි ලොකුම වගකීම පැවරුණේ. මියගිය කීර්ති අබේවික්‍රම මහත්තයගේ ගෙදරට පණිවිඩය කීම මට පැවරුණා. ඒ මහත්තයා මගේ ඥාතියෙක්. එතුමාගෙ බිරිඳ මගේ අක්කලගෙ මිතුරියක්. ඉතින් අපි සමීපව හිතවත්... මට පැවරුණා ඒ පණිවිඩය දෙන එක’’ ලක්ෂ්මන් සෙනෙවිරත්න කියා සිටියේය.

බෝම්බ ප්‍රහාරයෙන් ආණ්ඩුවම හෙල්ලුම් කෑවේය. ප්‍රහාරය  නිවැරදිව එල්ලවී නම් ජනපති අගමැති කැබිනට් මණ්ඩලය හා සමස්ත ආණ්ඩු  පක්ෂයම  එකම තැනදී විනාශවීමට ඉඩ තිබුණි. පාර්ලිමේන්තු භෝජනාගාරයට සම්බන්ධ සුළු  සේවකයකුවූ අජිත් කුමාර මේ සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට  ගත්තද සාක්කි නොමැතිවීම නිසා නඩුවේ දී නිදහස් විය. සැකකරුවන් පස්දෙනකුට විරුද්ධව නඩු පවන ලද අතර ඔවුන්ට චෝදනා එල්ල වුණේ ජනපති හා ආණ්ඩු පක්ෂ  කණ්ඩායම ඝාතනයට තැත් කිරීම, දිසා ඇමැති කීර්ති හා නෝබට් සේනාධීරගේ ඝාතන සම්බන්ධයෙනි. එහෙත් අජිත් කුමාර ඇතුළු සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කර ගැනීමට  රජයට නුපුළුවන් විය. වත්මන් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෙම නඩුවට පෙනී සිටි  එක් නීතිඥවරයෙකි.

(*** ප්‍රේමකීර්ති රණතුංග)