අපි මේක ගොඩින් බේරාගනිමු. සල්ලි ඕනෑ තරම් දෙන්නම්. දුව ගැනත් අපි බලන්නම්. ඉනෝකා අක්මාවෙන් කොටසක් මගේ මහත්තයට පරිත්‍යාග කරන්න කැමැතිවෙලා ඉන්දියාවට ගියේ. ඔපරේෂන් එකෙන් පැය දෙකකට පස්සෙ සිහිය ආවා. පළතුරු යුෂ එකකුත් බීවා. ඊට පස්සේ නැති වුනේ යැයි අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවට ගොස් සිටියදී ඉන්දියාවේ ග්ලෝබල් රෝහලේදී මිය ගිය කෑගල්ල මංගලගම පදිංචි කේ.ජී. ඉනෝකා දමයන්ති විජේරත්නගේ සිරුර කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ආ කාන්තාව තමන් සමග පැවසූ බව පියා වන කේ.ජී. විජේරත්න මහතා පවසයි.
කෑගල්ල මංගලගම පදිංචි කේ.ජී. විජේරත්න හා එම්.බී. මුතුමැණිකා දෙපලගේ වැඩිමහල් දියණිය ඉනෝකා දමයන්ති විජේරත්නය. එම පවුලේ දියණියන් දෙදෙනෙකි. අනෙක් දියණිය නිලූකා නිල්මිනි විජේරත්නය. 1975.09.23 දින මාවනැල්ල දිසා රෝහලේදී උපත ලද ඉනෝකා පවුලේ මුල්ම දැරිය වූ අතර රූප සම්පත්තියෙන් ද යුතු වූවාය. පාසල් යන වයසට පැමිණ ඉනෝකා මුල් අකුරු කියෙව්වේ මංගලගම කනිටු විදුහලෙනි.
පහ වසර තෙක් මංගලගම කනිටු විද්‍යාලයට ගිය ඉනෝකා ඊට පසුව කෑගල්ල මොලගොඩ ජයගල මහා විද්‍යාලටය ඇතුල් වූවාය. පාසල් අධ්‍යාපනයට මෙන්ම ක‍්‍රීඩාවලට ද ඇය දක්‍ෂකම් දැක්වූවාය. එම හේතුව නිසා ඇය පාසලේ ක‍්‍රීඩා දක්‍ෂතාවලින් ජයග‍්‍රහණ රැසක් හිමිකරගත් අතර ක‍්‍රීඩා නායිකාව ද වූවාය. අනතුරුව පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ද වූවාය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය උසස් අයුරින් සමත් ඉනෝකා උසස් පෙළ හදාරන්නට වූවාය. මේ අතර ඇගේ ඥාති සහෝදරයකුගේ ආදරය ලැබෙන්නට විය. මෙම තත්ත්වය යටතේ උසස් අධ්‍යාපනය ලැබීම නතර කළ ඉනෝකා දෙමාපිය ආශිර්වාදය මධ්‍යයේ තම ආදරවන්තයා සමග යුග දිවියට පිවිසියේය. ඔහු
![]() |
මියගිය ඉනෝකා |
මෝටර් රථ කාර්මිකයකු විය. ඔහු තම බිරිඳ ඉනෝකා සමග තමන් රැකියාව කළ කොළඹ කැලණිය ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචියට ගියේය. ගතවූයේ වසරක පමණ කාලයකි. ඉනෝකා ගැබිණියක් වූයේ සැමියාවූ විමල්ගේ හිතේ සතුට දෙගුණ කරමිනි.
තම කුඩා දියණිය සමග කොළඹ ප‍්‍රදේශයේ රැකියාව කිරීමට නොහැකි නිසා නිමල් හා ඉනෝකා පසුව මංගලගම ඉනෝකාගේ මහගෙදර පදිංචියට ආහ.
කාලය ගෙවෙද්දී ගේදොර අගහිඟකම් ද මතුවූ අතර ඉනෝකාට රැකියාවට යාමේ අවශ්‍යතාවය ද මතුවිය. මේ අතර දියණිය පාසලකට ඇතුල්කර අධ්‍යාපනය ලබාදීමට ද ඉනෝකා අමතක නොකළාය.
දියණිය වෙනුවෙන් මුදල් වැය කිරීමට ද සිදුවන නිසා ඉනෝකා පෞද්ගලික ආයතනයක රැකියාවක් සොයා ගත්තාය. අනතුරුව ඇය මැද පෙරදිග රැකියාවකට යන්නට අදහස් කළත් එම අදහස ද අත් හැරියාය. ඇය රූමත් නිසා ටෙලි නාට්‍යවල රඟපෑමට අවස්ථාව ලැබුවත් ඒ අවස්ථාව ද අතහැර ඇය තම දියණියගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසුනාය. ඇය රූමත් නිසා ඇය නිවසේ හඳුන්වනු ලැබූයේ සංගීතා නමිනි. ඇය ගමේ කා අතරත් ජනපි‍්‍රය වූවාය. ඇයට කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක් ලැබිණ. ඇය කොළඹ ගොස් රැකියාව කළ අතර කුමන ස්ථානයක රැකියාව කළාද යන්න දන්නේ ඇය පමණකි. ඇය තම රැකියා ස්ථානය කිසිවකුටත් දන්වන්නට මැළි වූවාය. මේ අතර ඉනෝකාගේ සැමියාට විදේශ රැකියාවක් ලැබිණ. ඒ අනුව 2012 වර්ෂයේ ජූලි මාසයේ කටාර් රටේ සේවයට ගියේය
එතැන් පටන් සිදුවූ දේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූයේ ඉනෝකාගේ දියණිය වූ දිල්ෂානි සඳරේඛාගෙනි.
කොළඹ වැඩට ගිහින් ඇවිත් පසුගිය නොවැම්බර් මාසේ මුලදී අම්මා කීවා මම වැඩ කරන තැන මැඩම් ඉන්දියාවේ සංචාරයක් යනව. මටත් යමු කීවා. ඉතින් දුව ආච්චි අම්මයි සීයයි එක්ක ඉන්න. මං සති දෙකකින් එනවා. එහෙම කියල අම්මා ඒ මැඩම් එක්ක ඉන්දියාවේ ගියා. සති දෙකකට පස්සේ ලංකාවට ආවා. එනකොට රෙදි එහෙමත් අරගෙන ආවා. අම්මා කීවා ඒ මැඩම් හරි හොඳයි. මමත් එහෙ රෝහලකදී මගේ ශරීරයත් බලව ගත්තා. කිසිම ලෙඩක් නෑ කියල එහේ වෛද්‍යවරුන් කීවා කියලත් අම්මා කීවා.
ඉන්දියාවේ ගිහින් ඇවිත් අම්ම වැඩට යන්නේ නැතිව සතියක් විතර හිටියා. ඊට පස්සේ තමයි ආයේ වැඩට ගියේ. දෙසැම්බර් මුල් සතියේ අම්මා කීවා ආයෙත් ඉන්දියාවේ යන්න වෙනවා මැඩම්ගේ මහත්තය එහේ රෝහලක ඔපරේෂන් කරනව. එයා ළඟ ඉන්න, උදව් කරන්න යන්න වෙනවා. හැබැයි මේ පාර මාසයක් විතර ඉන්න වේවි කියලත් කීවා.
එක පාරක් ගිහින් ආව නිසා අපට සැකයක් නැහැ. ඉතිං 2012.12.12 දවසේ අම්මා ඉන්දියාවේ යන්න ගෙදරින් ගියා. එදාම රෑ 10.00 විතර අම්ම කෝල් කරල කථා කළා. අපි එන්න හිටපු ගුවන් යානය පරක්කු වුනා. ඒ නිසා අපට ඉන්දියාවට එන්නත් පරක්කු වුනා කියල. මම හොඳින් ඉන්නවා. දුව පරෙස්සමෙන් ඉන්න මං එනකං කියල කීවා. 13, 14, 15 යන දවස්වල අම්මා කෝල් කළා. ඊට පස්සේ කෝල් කළේ නෑ.
ඊට පස්සේ අම්මගේ නොම්මරයට මං දුරකථන ඇමතුමක් ගත්තා. ඒක නාද වෙනවා. ඊට පස්සේ දුරකථනය කි‍්‍රයාත්මක කරල කවුරුහරි අහගෙන ඉන්නවා. කථා කරන්නේ නැහැ. දෙසැම්බර් 18 වැනිදා අපිට ඇමතුමක් ආවා. ඒ කථා කළේ අම්මා නෙවෙයි දෙමළ කාන්තාවක් වගේ කෙනෙක්. බාගෙට සිංහලෙන්. මම ඒ ඇමතුමට උත්තර දෙන්න පුංචි අම්මට දුන්නා. ඒ කථා කරපු කෙනා ඇහුවේ කොහොමද හොඳින් ඉන්නවද කියල විතරයි.
එදා රාති‍්‍රයේ තමයි ලංකාවේ නොම්මරයකින් ඇමතුමක් ආවේ. ඒ ඇමතුම දුන්නේ පිරිමි කෙනෙක්. එයා අපේ සීයට කීවා අම්මා ඉන්දියාවේදී මිය ගියා. සිරුර ඉන්දියාවේ ඉඳන් හෙට උදේ පහට කටුනායකට ගේනවා. ඒක භාරගන්න එන්න කියලා.
මෙම දැනුම් දීම අනුව ඉනෝකාගේ පියා කේ.ජී. විජේරත්න, නංගිගේ සැමියා වන එල්.බී.ඞී. වසන්ත කුමාර සහ තවත් කිහිප දෙනකු සමග වහාම ගියේ කෑගල්ල පොලීසියටය. පොලිසියට ගොස් පණිවිඩය ලැබුණු දුරකතන අංකයට පොලිසිය මගින් දුරකතන ඇමතුමක් අරගෙන මෙම පණිවිඩයේ ඇත්ත නැත්ත විමසා ඇත. ඒ අනුව එම දුරකතන පණිවිඩය ලබා දුන් මීගමුව කුලරත්න මාවතේ පදිංචි ජේ.ඒ.එම්. වීරසූරිය නමැත්තකු පවසා ඇත්තේ ඉනෝකා ඉන්දියාවේදී හදිසියේ මිය ගියා. සිරුර 21 වැනිදා අළුයම 5.00 ලංකාවට ගේනවා. කටුනායකට එන්න යනුවෙනි.
ඉනෝකාගේ පියා හා පවුලේ අය කටුනායක ගුවන්තොටුපොළට යනවිට අළුයම 3.00 පමණ විය. අළුයම 5.30 විතර වන විට ගුවන් යානය පැමිණ තිබිණ. මරණය පිළිබඳ දුරකතන ඇමතුම දුන් වීරසූරිය නමැත්තකු ඉනෝකාගේ පියා හා දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ගුවන් තොටුපොළේ රේගු බහාලූම් අංශයට එන ලෙස දන්වා ඇත.
මේ වන විට සිරුර සහිත පෙට්ටිය සමග ඉන්දියාවේ සිට කාන්තාවක් පැමිණ ඇත. ඇය හා වීරසූරිය දෙදෙනා ඉනෝකාගේ පියා හා මස්සිනා හමුවී සිරුර සහිත පෙට්ටිය භාර ගන්නා ලෙස පවසා තිබේ. එහිදී එම කාන්තාව පවසා ඇත්තේ ”මේ සිරුර භාරගන්න. මේක ගොඩින් බේරා ගනිමු. සල්ලි කොච්චර වුනත් කමක් නැහැ. අපි දෙන්නම්. ඉනෝකාගේ දුව ගැනත් බලා ගන්නම්. මගේ ලෙඩා ඉන්දියාවේ රෝහලේ. මට ඉක්මනට යන්න ඕනෑ” යනුවෙනි. මෙම කරුණු ගැන සැක සිතූ ඉනෝකාගේ පියා ”මට මේ මරණය ගැන සැකයි. ඒ නිසා මම මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න ඕනෑ යැයි පවසා ඇත.
අනතුරුව ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත ගොස් මෙම මරණය ගැන පැමිණිලි කරනු ලැබීය. ගුවන්තොටුපොළ පොලිසිය ඒ අනුව පරීක්‍ෂණ ආරම්භ කළේය.
ගුවන් තොටුපොළේ රේගුවෙන් සිරුර භාර ගැනීමෙන් අනතුරුව ඉනෝකාගේ පියා වූ කේ.ජී. විජේරත්න, නැගනියගේ සැමියා වූ එල්.බී.ඞී. වසන්ත කුමාරගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙම සිරුර සමග පැමිණි කාන්තාව වූ මීගමුව කිඹුලාපිටිය පාරේ පදිංචි ඩබ්.අයි. ද සොයිසා නමැත්තියගේ ප‍්‍රකාශ ද සටහන් කරගෙන ඇත.
සිරුර මීගමුව මහරෝහලේ මෘත ශරීරාගාරයට භාර දෙනු ලැබිණ. මීගමුව නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි ජයන්ත නවරත්න මහතාගේ නියෝග යටතේ මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඒ දයාපාල මහතාට පැවරින.
පවුලේ ඥාතීන් ඉදිරියේ, ඉන්දියාවෙන් ගෙන එන ලද පෙට්ටිය විවෘත කෙරිණි. ඉදිමී තිබුණ සිරුර හඳුනා ගනු ලැබුවේ ඉනෝකාගේ මුහුණේ තිබූ කැළලක් හඳුනා ගැනීමෙනි.
අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යවා තිබූ ලේඛනවල සඳහන්ව තිබූ වයස හා සිරුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයාට වයස පිළිබඳ ගැටළුවක් ඇති විය.
ඔහු මේ පිළිබඳ විමර්ශන කිරීමේදී මෙම මියගිය කාන්තාව වූ ඉනෝකා විදේශ ගතවී ඇත්තේ 1975 උපන් බව වෙනස් කර 1983 උපන් අයකු සේ සකස් කරන ලද ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ දයාපාල මහතා මීගමුව අධිකරණයට ලිපියක් යවමින් මෙම මරණය ගැටළු සහිත සංකීර්ණ මරණයක් බවත් වයස පිළිබඳ ගැටළුවක් ඇති බවද මෙම මරණය පිළිබඳ වාර්තාවක් ඉක්මනින් දිය නොහැකි බවද දැනට මෙම සිරුරෙන් ලබාගත් ආදර්ශන පරීක්‍ෂණ සඳහා ලබාගෙන ඇති බවත් දන්වා ඇතැයි ද කියති.
මෙවන් තත්ත්වයක් යටතේ විමර්ශණ කටයුතු කෙරෙද්දී මෙම සිරුර රැගෙන ආ කාන්තාව පොලිස් නිලධාරීන්ට ඉනෝකා විසින් ලියන ලදැයි පවසන මීගමුවේ නීතිඥවරියක් හා දිවුරුම් කොමසාරිස් කෙනකු ඉදිරියේ ලියන දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් දැනට ඉන්දියාවේ ප‍්‍රතිකාර ලබන අයකුට අවශ්‍ය ශරීරයේ කොටසක් ලබාදීමට කැමැත්ත ප‍්‍රකාශ කරන ලද එහෙත් ඉනෝකාගේ නම සඳහන් නැති දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කෙරින. මෙම දිවුරුම් ප‍්‍රකාශයේ ප‍්‍රකාශක ලෙස අත්සන් කර ඇත්තේ ඉනෝකා ලෙසිනි. එහෙත් ඇගේ ගමන් බලපත‍්‍රයේ අත්සන හා දිවුරුම් ප‍්‍රකාශයේ අත්සන වෙනස්ය. ඉනෝකාගේ දියණිය මෙම දිවුරුම් ප‍්‍රකාශයේ අත්සන සම්පූර්ණයෙන් තම මවගේ නොවන බවට සහතික කරන්නීය.
ඉනෝකා මිය ගියේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥ ඒ දයාපාල මහතා වෙත යොමුකර ඇත. අධිකරණ වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ දක්‍ෂයකු වූ ඒ මහතා මේ පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත. ඉනෝකාගේ අක්මාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත්තාද? නැත්නම් කොටසක් ඉන්දියාවේදී ලබා ගත්තාද? එය ලබාගත්තේ ඉනෝකාගේ කැමැත්තෙන්ද? කිසියම් ජාවාරම්කරුවකුගේ සැලැස්මකට ඉනෝකා හසුවූවාද යන්න දියණියට, පියාට, පවුලේ අයට ගම්වාසීන්ට මෙන්ම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම ගැටළුවක් වී ඇත.