අගක් මුලක් නැති ගෑස් අනතුරු


ගෑස් ළිප දැල්වීමේ දී එය පුපුරා ගිනි ගැනීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිවුදරු මවක් ඉකුත් සිකුරාදා රාත්‍රියේ මරණයට පත්වීමේ සංවේගජනක පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මීට අමතරව ගෑස් අනතුරකින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මෙයට පෙර ගෑස් අනතුරකට ලක්වූ මාතලේ ප්‍රදේශයේ කාන්තාවක් ද මිය ගියාය.

රට තිබෙන්නේ ගිනි කන්දකය. මේ නැගෙන්නේ එහි ගිනිදලුය. තත්ත්වය ඉතාම භයානකය. ඉකුත් ජනවාරි මාසයේ සිට නොවැම්බර් 9 දක්වා කාලය තුළ වාර්තාවී ඇති ගෑස් ආශ්‍රිත සිද්ධි සංඛ්‍යාව 250කට ආසන්නය. නොවැම්බර් මාසයේ දී පමණක් වාර්තා වූ සිද්ධි සංඛ්‍යාව 150ට වැඩිය. හිතේ ගින්දරක් නැතිව බතක් උයා ගැනීමට නොහැකි තත්ත්වයකි. ඇතැම් කාන්තාවන් ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ‘‘හෙල්මට්’’ පැළඳ මුළුතැන්ගෙයි කටයුතු කරන ආකාරය මාධ්‍ය වාර්තා කළේය. මෙය එක් අතකින් අමු විහිළුවකි. අනෙක් අතට ඛේදවාචකයකි.

ගෑස් මිල ඉහළ දමන්නැයි ගෑස් සමාගම් ඉල්ලා සිටියේය. රජය පළමු වටයේ දී එයට ඉඩ නුදුන්නේය. රටේ බරපතළ ගෑස් හිඟයක් ඇති විය. සමාගම් ඉල්ලූ ගණනට නොව ඊට ආසන්න ගණනකින් මිල වැඩි කිරීමට රජය ඉඩ දුන්නේය. එම මිල තිබූ මිලට දෙගුණයකට ආසන්නය. මේ පුපුරා යමින් තිබෙන්නේ ඒ ගෑස්ය. මේ වනවිටත් කාන්තාවන් දෙතුන් දෙනෙක් ගෑස් වෙනුවෙන් ජීවිත පූජා කළහ. ප්‍රශ්නයට කල් පවත්නා හා ස්ථිර සාර විසඳුමක් ලබා දීමට තව ජීවිත කීයක් බිලි වශයෙන් ගත යුතු ද යන්න නිලධාරීන් තීරණය කළ යුතුය.

ගෑස් සිලින්ඩර හෝ ගෑස් ළිප් ඉබේ පුපුරා යන්නේ නැත. ගෑස් ළිප්වල උපාංග දිරාපත්වීම ආදී හේතු ද මේ සඳහා බලපා තිබේ. එයට විසඳුමක් ලෙස බලධාරීන් ප්‍රකාශ කරන්නේ වගකීමක් ඇති ආයතනයකින්ම එම ගෑස් ළිප ආදිය මිලදී ගත යුතු බවය. හොඳ මට්ටමේ නිෂ්පාදන වෙළඳ පොළට එන්නේ නම් මේ ප්‍රශ්නය මතු නොවේ. එහෙත් දැන් තිබෙන්නේ ඕනෑම කෙනකුට ඕනෑම භාණ්ඩයක් වෙළඳ පොළට නිකුත් කළ හැකි තත්ත්වයකි. නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසියාකාරයෙන් සොයා බැලීමක් කරන්නේ නම් මෙම ප්‍රශ්නය මතු නොවේ.

ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කළ බව ගෑස් සමාගම් කියයි. එසේ කළ හැකි ද? කෙසේ වෙතත් අප පුවත්පත වාර්තා කළ එක් පුවතකින් කියැවුණේ ගෑස් පිපිරීමෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අංශය කටයුතු කරමින් සිටින බවය. නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නඩු පවරන බව එම අධිකාරියේ උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර ඇත. එමෙන්ම ගෑස් සමාගම් දෙකම ගෑස් සිලින්ඩරවලට සම්බන්ධවන උපාංග පිළිබඳව හෝ ඒවායේ නඩත්තුව පිළිබඳව කටයුතු කර නොමැති බවත් එම නිලධාරියා ප්‍රකාශ කර තිබේ. එම සමාගම් වගකීම් පැහැර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙය එක්තරා ආකාරයට අලුත් තත්ත්වයකි. පසුගිය සමයේ සිදු වූ බොහෝ දේවලට වගකිව යුත්තකු සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් ජනතාව සිටියේ අන්දමන්දවය. ගෑස් සම්බන්ධ අනතුරු වාර්තා වූ මුල් සමයේ තිබුණේ ද අයිතිකරුවකු නොමැති තත්ත්වයේය.

ජනතාව සිටින්නේ කොවිඩ් මාරක වසංගතයෙන් හොඳටම හෙම්බත්වය. දෙවසරක් පුරා දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වූ අතපසුවීම් සම්බන්ධයෙන් පශ්චාත්තාපයට පත් වෙමිනි. අනෙක් අතට ජීවන වියදම අහස උසටය. කොවිඩ් මාරාන්තික වසංගතය හමුවේ ඇතැමකුගේ රැකියා නැති විය. අමතර ආදායම් මාර්ග නැති විය. මේ තරම් වද විඳ විඳ ජීවත් වන්නේ කුමකටදැයි යමකුට සිතුණේ නම් එය අරුමයක් නොවේ. ජීවිතය තිබෙන්නේ විඳවීමට නොව විඳීමටය. අපේ ජනතාවට අහිමිවී තිබෙන්නේ එයමය. ගෑස් ආශ්‍රිත අනතුරු කඩා පාත් වූයේ ඔය අතරවාරයේදීය. එය වූ කලී ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇනීමකටත් වඩා වැඩි දෙයකි. මේ ජනයා මේ සැහැසි ග්‍රහණයෙන් මුදා ගත යුතුය. ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙළක් බලධාරීන්ගෙන් නොපමාව බලාපොරොත්තු වෙමු.

(***)